Thursday, December 25, 2014

ඡන්දයට පෙර අනිවාර්යයෙන් කියවන්න

ජනාධිපතිවරණ කඩඉම හා රටේ අනාගතය
විචාර බුද්ධියේ ජාතික තීන්දුවට පෙර වදනක්


ප‍්‍රවේශය එළඹෙන 2015 වසරේදී පැවැත්වීමට නියමිත මෙරට හත්වැනි ජනාධිපතිවරණයත් සමග අද වනවිට රට අතිශයින් සංකීර්ණ හා උද්වේගකර දේශපාලන අවස්ථාවකට මුහුණ දී තිබේ. පසුගිය කාලය පුරාම දේශපාලන කරළිය උනුසුම් වූයේ මේ ජනාධිපතිවරණය හමුවේ විවිධ පාර්ශවයන් විසින් ගනු ලබන තීන්දු තීරණ පිළිබද පුවත් හා වහ වහා වෙනස් වන සුළු සිද්ධි මාලාවන් ඔස්සේය. ඇත්තෙන්ම මෙවර ජනාධිපතිවරණය මීට පෙර පැවති ජනාධිපතිවරණවලට වඩා සංකීර්ණ එකක් වීමට බලපෑ හේතු ප‍්‍රමාණයක් තිබේ. මෙවර ජනාධිපතිවරණයට අදාල පිල් බෙදීම හරයෙන් වෙනසක් වී නැතත් එහි මතුපිට ඇතිවී තිබෙන වෙනස්කම්ද මේ සංකීර්ණත්වයට එක් හේතුවකි. එසේම වත්මන් ආණ්ඩුවේ වැරදි අඩුපාඩු හේතුවෙන් ඒ පිළිබඳ රටේ ජනතාව තුළ කිසියම් අතෘප්තිකර හැගීමක් ඇතිවී තිබීම මෙන්ම, විරුද්ධ පක්ෂ ව්‍යාපාරය පිළිබඳ විශාල මහජන විශ්වාසයක් නොතිබීමද මේ සංකීර්ණත්වයට තවත් හේතුවකි. ඒ තත්ත්වය තුළ මේ දෙකෙන් කුමන පාර්ශවය තෝරාගත යුතුද යන ගැටළුව විචාරශීලීව කල්පනා කරන ඕනෑම ඡන්දදායකයකු තුළ ඇතිවිය හැකිය. එසේ වුවද ජනාධිපතිවරණයක් යනු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එක පැත්තක් ගැනීමට සිදුවන තීරණාත්මක දේශපාලන අවස්ථාවකි. එහිදී පාර්ශවීය තීරණයක් මිස සංකීර්ණ තෝරාගැනීම් රැසක් ගැන සිතීමට කිසිවකුට ඉඩහසරක් නැත. එහෙත් මේ පාර්ශවීය තීරණය ගැනීමේදී රටේ පවතින දේශපාලන චිත‍්‍රය සමස්ථයක් ලෙස හා මැදහත්ව විමසා බැලීම විචාරශීලී ජන්දදායකයා සතු වගකීමක් බව නොකිව මනාය. මේ ලියවිල්ල සැලකිය හැක්කේ හුදු පුද්ගලයකු දිනවීමේ වුවමනාව මත සකස් වන්නකට වඩා, මෙවර ජනාධිපතිවරණය රටේ ඉදිරි අනාගතය කෙරේ බලපෑ හැකි ආකාරයත්, ඒ අභියෝගාත්මක පරීක්ෂණය හමුවේ ජාතියක් ලෙස
අප ගත යුතු තීන්දුව සම්බන්ධවත් කරුණු සහිතව කෙරෙන විමසා බැලීමක් වශයෙනි.
2005 සහ 2015
2005 ජනාධිපතිවරණයේදී ජාතික බලවේග ඇතුළු බොහෝ ප‍්‍රගතිශීලී පාර්ශවයන්ගේ සහයෝගය හිමිවූයේ වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාටය. ඒ සහයෝගය රටට ඉතා වැඩදායක එකක් බවට පත්වූයේ 2009 වනවිට කොටි ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමට රාජපක්ෂ ආණ්ඩුව සමත්වීම නිසාය. තිස් වසරක් තිස්සේ මේ රටට මහත් විනාශයක් ගෙන දුන් බෙදුම්වාදී ත‍්‍රස්තවාදය බොහෝ බාධා අභියෝග මැද කෙටි කලකින් මැඩලීම සැලකිය හැක්කේ නිදහසින් පසු මේ රට අත්කරගත් දැවැන්තම ජයග‍්‍රහණයක් ලෙසය. කොටි හිතවාදීන් හා අවස්ථාවාදී දේශපාලන බලවේග අතලොස්සක් හැර රටේ අති මහත් ජනතාව පක්ෂ, ජාති, ආගම්, භේදයකින් තොරව ඒ මහා ජයග‍්‍රහණයට සුභ පැතූහ. මීළඟට 2010 වනවිට හදිසියේ දේශපේ‍්‍රමය පොරවා ගත්තවුන්ද ඇතුළුව සියලූ ජාතික බලවේග ජනාධිපතිවරයා සමඟඑක පෙලට සිට ගනු ලැබුවේ 2005ටත් වඩා වැඩි සුබවාදී බලාපොරොත්තු රාශියක්ද සහිතවය. ත‍්‍රස්තවාදය පිළිබඳ අතිශය තීරණාත්මක ප‍්‍රශ්නයෙන් පසු රටේ ඉදිරි ගමන යහපත් අතට වෙනස් කිරීමට රාජපක්ෂ ආණ්ඩුව සමත්වනු ඇතැයි එදා රටේ බලවත් විශ්වාසයක් පැවති අතර, 2005ටත් වඩා අතිශයින් ශක්තිමත් හා ආස්වාදනීය ජනවරමක් 2010දී මහින්ද රාජපක්ෂට හිමිවනුයේද ඒ අනුවය. ඒ ජනවරමින් වසර හතරහමාරකට පසු අද වනවිට තවත් ජනාධිපතිවරණයක් අප හමුවට පැමිණ තිබේ. මෙහිදී ගත යුතු තීන්දුව පිළිබඳ අපට නිගමනයකට එළැඹිය හැකි වන්නේ ඉහත කී පසුබිම හා ඊට අදාල පාර්ශවීය කාරණා සමස්ථයක් ලෙස සලකා බැලීමෙන් අනතුරුවය.
2010න් පසු ශී‍්‍ර ලංකාව
2010 ලද දැවැන්ත ජන වරමින් පසු ගෙවී ගිය කාලය තුළ ආණ්ඩුවේ ගමන් මග ගැන සලකා බැලීමේදී එහි සාධනීය අංග මෙන්ම නිශේධනීය අංගද රාශියක් හඳුනාගත හැකිය. 2010 ජනවරම සැලකිය හැක්කේ පනස් හයේ පෙරළියෙන් පසු මෙරට ජාති මාමක බලවේග වඩාත් ප‍්‍රබෝධයට පත් අවස්ථාවක්
ලෙසය. මේ රටේ තීරණාත්මක වෙනසක් සඳහා නිදහසින් පසු මෙරට ජනනායකයකුට හිමිවූ හොඳම සහ වටිනාම අවස්ථාවක් ලෙසද 2010 මෙකී ජනවරම හැඳින්විය හැකිය. එමෙන්ම ලංකාව වැනි රටක නැඟීසිටීම සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන දේශපාලන ස්ථාවරභාවය වඩාත් ඉහලින් දිනා ගත හැකිවූ සුබ මොහොතක් ලෙසද මේ ජනවරම සැලකිය හැකි වන අතර එය ලෙයින් හා ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් ස්ථාවරත්වයක් බවද අමතක කළ යුතු නැත.
කෙසේ හෝ වේවා 2010 දී රාජපක්ෂ ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන රටේ ජනතාව තැබූ මහත් බලාපොරොත්තු අද වනවිට ඒ අයුරින්ම ඉටුවී නැතත් මේ කෙටි කාලය තුළ රට සැලකිය යුතු ප‍්‍රගතියක් ලබා තිබෙන බවද කිව යුතුය. 2010න් පසු ආණ්ඩුවේ ගමන ගැන සාධාරණ හා අසාධාරණ විවේචන රැසක් මතුකළ හැකි වුවද අපට ඒවායේ වලංගුතාව ගැන සලකා බලන්නට සිදුවන්නේ රටේ ලෝකයේ පැවති හා පවතින තත්ත්වයන්ට සාපේක්ෂවය. ඒ අනුව බලන කල භෞතික සංවර්ධනය අතින් රටේ විශාලතම පෙරළියක් සිදුවූ කාලයක් ලෙස මේ යුගය සැලකිය හැකිය. ඒ සංවර්ධන කි‍්‍රයාදාමයන් හා යටිතල පහසුකම් ආදිය මෙන්ම දේශපාලන ස්ථාවරභාවයද හේතුවෙන් අද ශී‍්‍ර ලංකාව තුළ පෙර නුවූ විරූ තරමේ ආයෝජන හිතවාදී පරිසරයක්ද නිර්මාණය වී තිබේ. එසේ වුවද ආණ්ඩුව මේ කාලය තුළ කටයුතු කර ඇත්තේ පූර්ණ වශයෙන් ආයෝජන මත යැපෙමින්, රාජ්‍ය අංශය හකුලන ක‍්‍රමවේදයක් අනුව නොව රාජ්‍ය අංශය ශක්තිමත් කරන ක‍්‍රමවේදයකට අනුවය. එදා “යළි පුබුදමු ශී‍්‍ර ලංකා” වැනි වැඩසටහන් යටතේ වසා දමන්නට හෝ විකුණා දමන්නට නියමිතව තිබූ ඇතැම් ආයතන අද ශක්තිමත් රාජ්‍ය ආයතන ලෙස නඟා සිටුවීමට හැකිව ඇත්තේද ඒ අනුවය. කාලයක් තිස්සේ දැවෙන ප‍්‍රශ්නයක් බවට පත්ව තිබූ රුකියා විරහිත උපාධිධාරීන්ගේ ප‍්‍රශ්නය සෑහෙන දුරකට විසඳමින් විශාල ප‍්‍රමාණයකට රැකියා ලබාදීමට හැකිව ඇත්තේද රාජ්‍ය අංශය ශක්තිමත් කරන මෙකී ක‍්‍රමවේදය යටතේය. අඩුපාඩු සහිතව වුවද, කාලයක් තිස්සේ මේ රට මුහුණ දී සිටි අර්බුදවලට සාපේක්ෂව ගත් කල වසර හතරහමාරක් වැනි කෙටි කාලයක් තුළ රටේ සැලකිය යුතු වෙනසක් සිදුව ඇති බව කිසිවකුට බැහැර කළ හැකි නොවේ.

එසේ වුවද ඒ වර්ධනයට සාපේක්ෂව රටේ යහපත් හා විනය ගරුක දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අභියෝගය හරියාකාරව ජය ගැනීමට ආණ්ඩුව සමත්ව නැත. මේ නිසා සිදුව ඇත්තේ යෝධ ජයග‍්‍රහණ අතරේ පවා වංචාව, දූෂණය, නාස්තිය, අවනීතිය, බලය අයුතු ලෙස භාවිතා කිරීම හා ඇතැම් දේශපාලඥයන්ගේ අත්තනෝමතික කි‍්‍රයාකාරකම් ආදිය ඔස්සේ නම කැත කරගැනීමට ආණ්ඩුවට සිදුවී තිබීමය. වත්මන් ආණ්ඩුවට එරෙහිව නැගෙන චෝදනා බොහොමයක් මෙකී දූෂිත දේශපාලන සංස්කෘතිය හා බැඳුණු ඒවාය. එහිදී අතිශෝක්තියට නංවන කාරණාද ඒ අතර තිබිය හැකි වුවත්, ඉතා සාධාරණ විවේචන ප‍්‍රමාණයක්ද පවතින බව බැහැර කළ නොහැකිය. යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආදී කාරණා අද විපක්ෂ බලවේගයේ ප‍්‍රධාන සඨන් පාඨ වී ඇත්තේද ඒ අනුවය. එවැනි කාරණා ඔස්සේ ආණ්ඩුවට එරෙහිව සැර විවේචන මතුකළ හැකි පරිසරයක් තිබුනද ප‍්‍රශ්නය සමස්ථයක් ලෙස හා රටට ලෝකයට සාපේක්ෂව සලකා බැලීමෙන් තොරව හුදු ආවේගයන් මත පිහිටා ඒ ප‍්‍රශ්නය නිරාකරණය කළ නොහැක්කක් බවද මෙහිදී තේරුම් ගත යුතුය.
ශී‍්‍ර ලංකාව යනු ශ්‍රේෂ්ඨ හා ප්‍රෞඩ ඉතිහාසයක්, උසස් සංස්කෘතික පසුබිමක් සහිත වාසනාවන්ත රටක් වුවද අපේ අක්මුල් මත පිහිටා අපේම වූ ඉදිරි දැක්මක්, මාවතක් නිමවා ගැනීමට අප සමත් වී නැත. දීර්ඝ කාලයක් තිස්සේ යටත්විජිතකරණය හා එහි දේශීය සුරතලූන්ගේ අපයෝජනයන් යටතේ අර්බුද ගණනාවකට ලක්ව, තමන්ගේම වූ මාවතක් නිමවා ගැනීමට ඉඩකඩක් නොලද රටක් කෙටි කාලයක් තුළ විශාල විපර්යාසයකට ලක්කිරීම කෙසේවත් ප‍්‍රායෝගික වන්නේද නැත. මෙරට පවතින දූෂිත දේශපාලන සංස්කෘතිය පිළිබඳ ගැටළුවද කාලයක් තිස්සේ මෙරට ඔඩු දුවමින් පවතින්නක් මිස හදිසියේ නිර්මාණය වූවක් නොවේ. එවැනි ගැටළුවලින් තොර කිසිදු රටක් සැබෑ ලෝකයේ තිබිය නොහැකිවාක් මෙන්ම, සාපේක්ෂව එවන් ආපදාවන්ගෙන් තොර රටක් නිර්මාණය කිරීම ලෙහෙසි අභියෝගයක් වන්නේද නැත. ඒ සඳහා අපට සුදුසු ආර්ථික සමාජීය සංවර්ධනයක් මෙන්ම විශාල අධ්‍යාත්මික සංවර්ධනයක් වෙතද මේ රට රැගෙන යා යුතුය. එවන් පුළුල් වෙනසක අර්ථයෙන් ගත් කල ඒ සඳහා 2010 ජනවරම හෝ වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය තීරණාත්මක ලෙස හේතුවී නැතත් 2010න් පසු ගෙවී ගිය කාලය යනු අඩුපාඩු හා අභියෝග මධ්‍යයේ හෝ රට දැවැන්ත පියවර ගණනාවක් පෙරට තැබූ කාලයක් බව සිහිතබා ගැනීම වැදගත්ය. එය නිදහසින් පසු ගෙවී ගිය ලංකා ඉතිහාසයේ සුවිශේෂී කාල පරිචේදයක් බව කුමන විවේචන මධ්‍යයේ හෝ පිළිගැනීමට සිදුවන කාරණයකි. එදා සිටම මේ රටේ සැබෑ ජයග‍්‍රහනවලට එරෙහිව කටයුතු කළ පරගැති බලවේග සියල්ල අද මේ ආණ්ඩුවට එරෙහිව කඳවුරු බැඳගැනීමම පවා මේ වෙනස වටහා ගැනීමට අපූරු ප‍්‍රවේශයක් අපට සපයා දෙයි. මේ සියලූ කාරණා මැදහත්ව විමසා බැලීමේදී පෙනී යන්නේ ආණ්ඩුවේ වැරදි අඩුපාඩු පවතින බව සැබෑවක් වුවද මේ ආණ්ඩුව වහාම පෙරළා දැමිය යුතු තත්ත්වයට ඒ අර්බුදය තවමත් මෝරා නැති බවය. එවැනි අවශ්‍යතා සහිත පිරිසක් එදා සිටම ආණ්ඩුවට එරෙහි ඝෝෂාවක් නඟමින් සිටියද, පසුගිය මැතිවරණ සියල්ලෙන්ම පෙනී ගියේ ඔවුන්ගේ අරමුණු සහ රටේ අරමුණු එකිනෙකට සමපාත වී නොමැති බවය. කඩිනම් ආණ්ඩු පෙරළියක් රටට අවශ්‍ය යැයි යමකු තර්ක කළ හැකි වුවද එසේ පෙරළා දමා බලයට ගෙන ආ හැකි යහපත් විකල්ප බලවේගයක්ද තවමත් මේ රට තුළ නිර්මාණය වී නැත. ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් කලක සිට මෙරට ක‍්‍රියාත්මකව තිබුණද ඒ ව්‍යාපාරය කිසි ලෙසකින්වත් රට නිසි මාවතකට ගත හැකි ව්‍යාපාරයක් ලෙස සැලකීම අසීරුය. ඒ කාරණය වඩා හොඳින් වටහා ගත හැකි වන්නේ පොදු අපේක්ෂකයා පෙරටු කරගත් වත්මන් ආණ්ඩු විරෝධී ව්‍යාපාරයේ ස්වභාවය, අභිලාෂයන් හා එහි තීරණාත්මක චරිත ආදිය කවරාකාර වේදැයි සිහි බුද්ධියෙන් විමසා බැලීමෙනි..

විශම බලවේගයේ අර්බුදය
මෛත‍්‍රී පාලනයක් පළමු කොටම මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ භූමිකාව සලකා බලතොත් ඔහු කිසියම් කූට මෙහෙයුමක ඉත්තකු බව වී ඇති බව පැහැදිලිය. ඔහුගේ හදිසි දේශපාලන පෙරළිය කිසියම් නූල් සූත්තරයක ප‍්‍රතිපලයක් විනා ස්වභාවික හේතු සහිතව සිදුවූ නැගී සිටීමක් වන්නේ නැත. මෛතී‍්‍රගේ හදිසි පෙරළියේ ඇති මේ විකෘති සහගත ස්වභාවයම ඒ පසුපස කිසියම් සැඟවුණු මෙහෙයුමක් ඇති බව මනාව පෙන්වා දෙන්නකි. එය අද තානාපති කාර්යාල හරහා මන්ත‍්‍රීවරුන් බිලී බා ගැනීමට ගෙනයන මෙහෙයුමේම දිගුවක් විය හැකිය. ඔහු රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයකු පමණක් නොව ශි‍්‍රලනිපයේ මහ ලේකම්වරයාද වෙයි. ඒ අනුව ගත් කළ ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් එල්ල වන බොහෝ චෝදනාවලට මෛතී‍්‍රපාලද සෘජු හෝ වක‍්‍ර වගඋත්තරකාරයෙකි. අද ඔහු ඖෂධ පනතක් නැතිවීම වැනි දේ ගැන අතාර්කික කතා කියමින් සිටියද, ආණ්ඩුවේ අඩුපාඩු ගැන සාධාරණ විවේචනයක් හෝ ඒ මත පදනම් වූ අරගලයක් ඔහුට තිබුණේ නැත. ඔහුට ආණ්ඩුව සමඟ ආරෝවක් තිබුණා නම් තිබිය හැක්කේ අගමැතිකම නොලැබීම වැනි ආත්මීය කාරණාවලට අදාලව මිස දේශපාලන ප‍්‍රතිපත්තිවලට අදාලව නොවේ. ඒ අන්දමින් දූෂිත හා ඒකාධිපති යැයි කියන ආණ්ඩුවක් සමඟ කටයුතු කළ එහි තීරණාත්මක බලකණුවක් තම පොදු අපේක්ෂකයා ලෙස තෝරාගැනීමම විපක්ෂ ව්‍යාපාරයේ උපායමාර්ගික බංකොලොත්භාවය ප‍්‍රකට කරන සාධකයක් ලෙස ගත හැකිය. එයින් තම බංකොලොත් ව්‍යාපාරයට පොදු මුහුණුවරක් ලබා දෙමින් මෛත‍්‍රී හරහා ශි‍්‍රලනිපයේ ඡන්ද ලොකු ප‍්‍රමාණයක් කඩා ගැනීමේ අරමුණක් විපක්ෂය තුළ තිබුණා විය හැකි වුවද, ප‍්‍රායෝගික වශයෙන් එම අරමුණ ඉටුවීමට ඇති ඉඩකඩද එතරම් විශාල නැත.
රනිල්ගේ භූමිකාව අද මෛත‍්‍රීපාල නැමති රූකඩය භාවිතා කරමින් අනාගතයේ බලය ගැනීමේ අපේක්ෂාවකින් සිටින රනිල් වික‍්‍රමසිංහද පොදු අපේක්ෂක මෙහෙයුමේ ප‍්‍රධාන බලකණුවක් වන්නේය. එහෙත් රනිල් වික‍්‍රමසිංහ 2002 සිට 2004 දක්වා අගමැති ධූරය හෙබවූ කාල වකවානුව තුළ හෝ එජාප පාලන සමය තුළ වත්මන් පොදු අපේක්ෂකයාගේ යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආදී සටන් පාඨ වලට කිසිදු ප‍්‍රායෝගික වටිනාකමක් හිමි නොවූ අතර රනිල්ගේ මැතිවරණ ජයග‍්‍රහණය පවා අවසාන වූයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් පුද්ගලයන් පනහකට වැඩි ප‍්‍රමාණයක් ඝාතනයට ලක්වෙමිනි. විධායක බලයේ අනුහසින් එජාප පාලන යුගයේ සිදුවූ තරම් අත්තනෝමතික කි‍්‍රයා අන් කවර කලකවත් සිදුවී නැති තරම්ය. ඒ සියල්ලටම වඩා ලංකා ඉතිහාසයේ දරුණුතම පාවාදීමක් වූ 2002 සටන් විරාම ගිවිසුමට අත්සන් තබමින් ඊළාම් රාජ්‍යය බන්දේසියක තබා කොටි ත‍්‍රස්තයන් වෙත පිළිගැන්වීමේ ද්‍රෝහී මෙහෙයුමේ නියමුවා වූයේද රනිල් වික‍්‍රමසිංහය. අති විශාල වරදාන වරප‍්‍රසාද ප‍්‍රමාණයක් හා රාජ්‍ය තාන්ත‍්‍රික වටිනාකමක් කොටි ත‍්‍ර‍්‍රස්තවාදයට හිමි කරදෙමින් එය ඉතා ශක්තිමත් තැනකට ඔසවා තැබීමට මේ ගිවිසුම හේතුවිය. ඔහුගේ මෙම ද්‍රෝහී මෙහෙයුම දෙවසරක් තුළ ආපසු හරවන්නට එදා මෙරට ජාතික බලවේග සමත් වුවද තම පාලනයෙන් පසු ගෙවී ගිය යුගයේ ඉතා තීරණාත්මක අවස්ථාවලදී පවා රනිල් ප‍්‍රමුඛ එජාපය කටයුතු කළේ තම කොටි හිතවාදී බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය හිස මුදුනේ තබා ගනිමින් වන අතර ඔවුන් ඉදිරියේදී කටයුතු කරනු ඇත්තේද ඒ අනුව බව මෙහිදී අමතක කළ යුතු නැත. චෞර රැුජිණ මීළඟට තානාපති කාර්යාල හරහා මේ පොදු අපේක්ෂක මෙහෙයුමේ ප‍්‍රධාන චරිතයක් බවට පත්වී සිටින චන්ද්‍රිකා කුමාරතුංග ගැන සලකා බලතොත් ඇය සැලකිය හැක්කේ මෙරට බිහිවූ අපකීර්තිමත්ම රාජ්‍ය නායිකාවක් ලෙසය. එදා ඇය බලයට පත්වූයේම 1994 වසරේ ජූලි පහලොස් වෙනිදාට පෙර විධායකය අහෝසි කරන බවට නිල පොරොන්දුවක් ලබා දෙමිනි. ඇය එම පොරොන්දුව නිර්දය ලෙස කඩකළා පමණක් නොව විධායක බලය උපරිම ලෙස අවභාවිතයේ යෙදවූ නායිකාවකද වූවාය. ධූර කාල දෙකක් එනම් වසර එකොලහක් ජනාධිපති ධූරයේ සිටියදී පවා විධායකය අහෝසි නොකළ චන්ද්‍රිකා අද විධායක සටන් පාඨය ඉස්සර කරගත් පොදු අපේක්ෂක නාටකයේ ප‍්‍රධාන චරිතයක් වී තිබේ. මේ අපූරු විහිළුව තරම් පොදු අපේක්ෂක සන්ධානයේ දේශපාලන බංකොලොත්භාවය හා ඔවුන්ගේ සටන් පාඨවල ව්‍යාජත්වය හෙලි කරන සිදුවීමක් තවත් නැති තරම්ය. මීළඟට බෙදුම්වාදය සම්බන්ධවද රනිල්ගේ ප‍්‍රතිපත්තිය හා චන්ද්‍රිකාගේ ප‍්‍රතිපත්තිය අතර වැඩි වෙනසක් නොවීය. සාම තවලම, බලය බෙදීමේ පැකේජ මෙන්ම සුනාමි සහන මණ්ඩලය ඔස්සේද රටේ ඒකීයභාවය බලවත් ලෙස අනතුරේ හෙලීමේ ප‍්‍රයත්නයක ඇය නිරත වූවාය. එදා ජවිපෙ ඉතා නිවැරදි තීරණයක් ගනිමින් ඇමතිකම් හතරක් අතහැර සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වූයේද සුනාමි සහන මණ්ඩලය ඔස්සේ සිදුකරන්ට උත්සාහ ගත් මහා පාවාදීමට එරෙහි වෙමිනි. එදා රාජ්‍ය ආයතන විශාල ලෙස කුණු කොල්ලයට විකුනමින්, බලය උපරිම ලෙස අවභාවිතයේ යොදවමින්, තම ගජ මිතුරු කල්ලිය සිත් සේ පිනවමින් චන්ද්‍රිකා ගෙන ගිය දූෂිත පාලනයේ ස්වභාවය “චෞර රැජින” නැමති ආන්දෝලනාත්මක කෘතියක් ඔස්සේද ඉතිහාසයට එක්වී තිබේ. හාස්‍යජනක කාරණය වන්නේ එදා එම කෘතිය ලියූ කවට කතුවරුන්ම අද මෛත‍්‍රීට සහය පලකරමින් චන්ද්‍රිකා ගැන පවා නැවත චරිත සහතික ලියන්නට පටන් ගෙන තිබීමය.

සුරේන්ද්‍රන්ලාගේ සිහිනය අද මෛතී‍්‍රපාල මහතාගේ මැදිහත් වීමෙන් ආස්වාදයට පත්වී සිටින තවත් වැදගත් පාර්ශවයක් වන්නේ කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවය. කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා කෙරේ ඔවුන් තුළ හටගෙන ඇති නොනිමෙන වෛරය පිරිමසා ගැනීමේ අවස්ථාවක් ලෙස ඔවුන් මේ ජනාධිපතිවරණය භාරගෙන තිබේ. ජනාධිපතිවරයා යුධ අධිකරණය හමුවට ගෙනයන බව පවසමින් අද සුරේෂ් සුරේන්ද්‍රන් වැනි ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප‍්‍රකාශකයන් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියේම වහසි බස් දොඩන තත්ත්වයට පත්වී ඇත්තේ ඒ අනුවය. තවද ඔවුන් ජනාධිපතිවරයාගෙන් පළිගැනීමෙන් නොනැවතී යුද්ධයෙන් දිනාගත නොහැකි වූ තම බෙදුම්වාදී අරමුණු වෙත වෙනත් මාර්ග ඔස්සේ ප‍්‍රවේශවීමටද මේ ජනාධිපතිවරණය කදිම තුරුම්පුවක් ලෙස භාවිතා කරනු ඇත. ද්‍රවිඩ ජාතික සන්ධානය මැතිවරණයේදී කාට සහය දුන්නද ඔවුන් නිරත වනුයේ බෙදුම්වාදය පෝෂණය කරන දේශපාලනයක බව පැහැදිලිව පෙනෙමින් තිබෙන්නකි. ඔවුන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති දැඩි කොන්දේසිවලින්ම ඒ බව ප‍්‍රකට වෙයි. එමෙන්ම බටහිර රටවල්, විවිධ මානව හිමිකම් ආදී ජාත්‍යන්තර සංවිධාන, එන්.ජී.ඕ ජාලය, පිල් මාරුකළ ඇතැම් දේශපාලඥයන් ආදීවූ විශාල ක්ෂේත‍්‍රයක පැතිරුණු බලවේග රාශියක් කොටි ඩයස්පෝරාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර ඒ සියලූ දෙනා මේ ජනාධිපතිවරණයේදී සෘජුව හා වක‍්‍රව කටයුතු කරනු ඇත්තේ මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිවය. එය හුදු මහින්දට එරෙහි සටනක් නොව රටේ ෙසෙවරීභාවයට හා යහපැවැත්මට එරෙහි සටනක් බව අමතක කළ යුතු නැත.
එන්ජී ඕ ත‍්‍රස්තවාදය මීළඟට මෙරට සිවිල් සංවිධාන, එන්.ජී.ඕ සංවිධාන, හා විවිධ විකල්ප වැඩසටහන් හරහා රටට එරෙහි ඊනියා ශාස්තී‍්‍රය කි‍්‍රයාන්විතයක නිරතව සිටින ඊනියා බුද්ධිමතුන්ගේ බමුණු කුළයද පොදු අපේක්ෂකයාට සහය දෙන තවත් බලවේගයකි. මතුපිටින් බැලූ විට මාක්ස්වාදීන්, ලිබරල්වාදීන්, පශ්චාත් නූතනවාදීන්, ස්තී‍්‍රවාදීන්, සාරසංග‍්‍රහවාදීන් ආදී විශාල මතවාදීමය විචිත‍්‍රවත් බවක් මේ කල්ලිය තුළ පෙනෙන්ට තිබුණද හරයෙන් මේ සියල්ල අයත් වන්නේ එකම මූලයකටය. පරගැතිකම හා නිවටකම මහා ආත්මය කරගත් මේ සියලූ දෙනා සිංහල බෞද්ධකම, දේශීයත්වය, රටේ ඉතිහාසය, සංස්කෘතිය, හර පද්ධතීන් ආදිය සමඟ මාරාන්තික වෛරයකින් පසුවන පිරිසක් වන්නේය. යුධ ජයග‍්‍රහණය මේ සියලූ දෙනාට නයාට අඳුකොල බඳුවූ අතර ගෙවී ගිය කාලය පුරාම කොටි ත‍්‍රස්තවාදය වෙනුවෙන්, මුස්ලිම් අන්තවාදය වෙනුවෙන්, මිනීමරු කෘෂි රසායන සමාගම් වෙනුවෙන්, බටහිර යටත්විජිතවාදය වෙනුවෙන්, සමාජ පාදඩකරණය වෙනුවෙන්, ශාස්තී‍්‍රය ලෙස පෙනී සිටි මේ පිරිස පොදු අපේක්ෂකයා වෙනුවෙන්ද ඒ ආකාරයෙන්ම පෙනී සිටිති. අද මේ විකල්ප අනාථයන්ගේ එකම නවාතැන වන රාවය වැනි පුවත්පත් දෙස බැලීමෙන් මොවුන්ගේ විගඩම්කාරී දේශපාලන හැසිරීම කුමක්දැයි මනාව අධ්‍යයනය කළ හැකිය.
ජනතා විමුක්ති පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ මෙවර ජනාධිපතිවරණයේදී ඉතා හාස්‍යජනක සිද්ධාන්තයක් අනුගමනය කරමින් සිටියද ඔවුන් අද රට වටා රැස්වීම් පවත්වමින් වක‍්‍රව සහය දෙමින් සිටින්නේද මෛතී‍්‍රගේ සන්ධානයටය. ජවිපෙ මෑත අතීතයේදී යහපත් බලවේගයක් ලෙස පෙරට පැමිණියද මෝඩ තීන්දු තීරණ ඔස්සේ විහින් විනාශයට පත්ව අද වනවිට මහින්ද විරෝධය ඔස්සේ පමණක් යැපෙන එම පක්ෂයට මේ හවුලට සහය පළකිරීම විනා වෙනත් විකල්පයක්ද ඉතිරිව නැත. ඒ අනුව සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින බව කියන ජවිපෙද අද වන විට ජාතිවාදී, බෙදුම්වාදී, දක්ෂිණාංශික පරගැති කල්ලියකට නොකියා සහය දෙමින් සිටී. මහින්ද පැරදවිය යුතු වුවද, පොදු අපේක්ෂකයා ගැන තමන්ට වගකීමක් නැති බවට ඔවුන් කරන හාස්‍යජනක ප‍්‍රකාශයම පොදු අපේක්ෂක සන්ධානයේ අර්බුදය හා අවිශ්වාසනීයත්වය වටහා ගැනීමට කදිම ප‍්‍රවේශයක් සපයා දෙයි.
හෙළ උරුමයේ තීරණය මීළඟ ඉතාම ඛේදනීයම කාරණය වන්නේ අද ජාතික හෙළ උරුමයද තම අතීත දේශපාලන භාවිතයට සපුරා පසුපස හරවමින් මේ විශම බලවේගය සමඟ සන්ධාන ගතව සිටීමය. තමන්ට මහින්දගේ ආණ්ඩුව තුළවත් කළ නොහැකි වූ විප්ලවයක් රනිල්ගේ බලවේගය හා එක්ව කළ හැකි යැයි හෙළ උරුමය විස්වාස කරන්නේ නම් ඔවුන් තම ඉතිහාසයේ ගනු ලබන මෝඩම දේශපාලන තීරණය එය වනු නොඅනුමානය. ඔවුන්ට ආණ්ඩුව ගැන සාධාරණ විවේචන ප‍්‍රමාණයක් තිබිය හැකි වුවද ඒ විවේචනද රැගෙන අසාධාරණ කල්ලියක වේදිකාවකට ගොඩවීමෙන් එම පක්ෂයට හෝ රටට කිසිදු යහපතක් සිදුවන්නේ නැත. විවේචන කොතෙක් සාධාරණ වුවද, සාධාරණ විවේචන මත පදනම්ව ගන්නා සෑම දේශපාලන කි‍්‍රයාමාර්ගයක්ම සාධාරණ නොවේ. අපට ක‍්‍රීඩා කිරීමට සිදුවන්නේ පිටියේ පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් මිස මනෝ ලෝකයක සිටිමින් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. ජනාධිපතිවරණයේදී මහින්දට සහය දිය නොහැකි නම් හෙළ උරුමය විසින් තමන්ගේ ගරුත්වයට ගැලපෙන ආකාරයේ දේශපාලන භූමිකාවක් තෝරා ගත යුතුය. එවන් බලවත් භූමිකාවක් තෝරාගත නොහැකි දුෂ්කර තත්ත්වයක් රටේ පවතී නම් තාවකාලිකව පසුබැසීම හෝ නිහඬවීම පවා තකතීරු දේශපාලන තීන්දු ගැනීමට වඩා බෙහෙවින් ප‍්‍රඥාගෝචරය. මේ සියලූ කාරණා පසෙක තබා සාධාරණ විවේචනද රැගෙන අසාධාරණ හවුලක් තෘප්තිමත් කරන්නට යාමෙන් රටට යහපතක් නොවනවා පමණක් නොව එය තම ව්‍යාපාරයේ දේශපාලන සියදිවි නසා ගැනීම බවද හෙළ උරුමය විසින් තේරුම් ගත යුතුය.
මේ බලවේගය පරාජය කළ යුත්තේ ඇයි?
පෙර කී කාරණා සැකෙවින් සලකා බැලූ කළ හෙළ උරුමය වැනි පක්ෂ හැර ආණ්ඩු විරෝධී ව්‍යාපාරයේ බොහෝ කොටස්කරුවන් එදා සිටම කොටි ත‍්‍රස්තවාදය හා බෙදුම්වාදය වෙනුවෙන් සාහසික ලෙස පෙනී සිටි අයවලූන් බව පැහැදිලිය. මේ රට ලබාගත් ඓතිහාසික ජයග‍්‍රහණ සමඟ පවා බද්ධ වෛරයකින් පසුවන මේ ව්‍යාපාරය ඕනෑම මොහොතක ඒ ජයග‍්‍රහණ ආපසු හැරවීමට වුවද පසුබට වන්නේ නැත. දෙමළ බෙදුම්වාදය පමණක් නොව පසුගිය කාලය තුළ වේගයෙන් ඉස්මතු වූ මිලේච්ඡු මුස්ලිම් අන්තවාදය සමඟද මේ පාර්ශවයන් එක පෙළට සිට ගත් අතර ඔවුන්ගේ ප‍්‍රධාන අභිලාෂය වූයේ මේ රටේ පදනමට පහර ගසමින්, තමන්ද ජීවත්වන නිවසේ අත්තිවාරම සියතින්ම කඩා බිඳ දැමීමය. ආණ්ඩුවේ කෙබඳු වැරදි තිබුණද ඒ පිළිබඳ ඔවුන් තුළ ඇති විවේචනය සාධාරණ හා අවංක අරමුණු සහිත විවේචනයක් වන්නේ නැත. වත්මන් ආණ්ඩුවේ වැරදිවලට පමණක් නොව වත්මන් ආණ්ඩුව රටට දිනා දුන් ඓතිහාසික ජයග‍්‍රහණයද ඔවුන්ට නයාට අඳු කොල බඳු වූ බව මෙහිදී අමතක කළ යුතු නැත. යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, විධායක විරෝධය ආදී සටන් පාඨ ප‍්‍රමාණයක් ඔවුන් අද පෙරට ගෙන තිබුණද ඔවුන්ගේ කතා සහ ක‍්‍රියා අතර ඇත්තේ අහසට පොළව බඳු පරතරයක් බව තේරුම් ගැනීමට රනිල් හා චන්ද්‍රිකා ගැන පමණක් සිහි නඟා ගැනීම වුවද හොඳටම ප‍්‍රමාණවත්ය. ඔවුන්ගේ කතාව ඔවුන්ගේ කි‍්‍රයාවන්ට පටහැනි වනවා පමණක් නොව, ඒ සටන් පාඨ රටේ සැබෑ ප‍්‍රශ්න හා බැඳුණු පුලූල් අභිලාෂයන් සහිත එවා වන්නේද නැත. අභ්‍යන්තර අවුල් වියවුල් ගහන හා පරස්පර මතවාද සහිත පාර්ශවයන්ගේ එකතුවක් වන මේ ව්‍යාපාරයට කිසිදු ඒකාග‍්‍රතාවයක්, ජාතික දැක්මක්, හෝ නිරවුල් ඉදිරි වැඩපිළිවෙලක් නැත. මහින්ද විරෝධය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, හා ඊනියා ව්‍යවස්තා ප‍්‍රතිසංස්කරණ ආදී මහපොළවට නොබැඳුණු ව්‍යාජ අප‍්‍රායෝගික සටන් පාඨ ප‍්‍රමාණයක් වටා එක්රොක් වීමට ඔවුන්ට සිදුවී ඇත්තේද මේ නිසාය. ආණ්ඩු වෙනසක් රටට අවශ්‍ය වේ නම් ඒ වෙනස කළ යුතු වන්නේ බලය උසුලන පිරිසට වඩා දශමයකින් හෝ සාධණීය ව්‍යාපාරයක් ඔස්සේ මිස මෙවන් දූෂිත ආණ්ඩු විරෝධී බලවේගයක් ඔස්සේ නොවේ.
යම් හෙයකින් මේ පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කළ හොත් සිදුවිය හැක්කේ කුමක්ද?
-එය නිසැක ලෙසම මේ රටේ එකීයභාවයට බරපතල තර්ජන ගෙන දෙමින් ද්‍රෝහී බෙදුම්වාදී ජාතිවාදී බලවේග නැවතත් නව ජවයකින් නැඟී සිටිනු ඇත.
-ඊනියා පොදු අපේක්ෂක රූකඩයකට මුවා වෙමින් රනිල්, චන්ද්‍රිකා ඇතුළු පරාජිත අලි, කොටි, නරි හවුල නැවත වතාවක් රට අත්පත් කරගැනීම සඳහා පෙරමුණ ගනු ඇත.
-ත‍්‍රස්තවාදය පැරදවීම පිළිබඳ වෛරයෙන් පසුවන සියලූ දෙස් විදෙස් බලවේග ජනාධිපතිවරයා ඇතුළු රණවිරුවන්ගෙන් පළිගැනීම සඳහා මේ අවස්ථාව උපරිම වශයෙන් භාවිතා කරනු ඇත.
-මෙරට රණවිරුවන් ජීවිත පරිත්‍යාග කරමින් ලෙයින් දිනාගත් නිදහස, දේශපාලන ස්ථාවරභාවය හා ඒ යටතේ රට මේ දක්වා අත්කරගත් යෝධ සංවර්ධනය ඇතුළු සියලූ ජයග‍්‍රහණ අඩාල කිරීමට ඔවුන් කටයුතු කරනු ඇත.
-ව්‍යාජ හා අප‍්‍රායෝගික සටන් පාඨ වටා එක් රොක් වූ කිසිදු ඒකාග‍්‍රතාවයකින් තොර මේ බලවේගය යටතේ රට බෙහෙවින් අස්ථාවර හා අරාජික අඩියකට ඇද වැටෙමින් මේ රට තවත් ලිබියාවක තත්ත්වයට පත්වනු ඇත

No comments:

Post a Comment