Tuesday, November 12, 2013

රාවණා රජු අදටත් රට දෙස බලා ඉන්නවා - රාවණා 17 වන කොටස

සූර්ය වංශයේ දේශය නොහොත් රෝහණ දේශය පිළිබඳ ව විමසන විට පළමුවෙන් ම මතකයට නැ‍ඟෙන්නේ ස්කන්ධ කුමාරයා නොහොත් කතරගම දිව්‍ය රාජයාය. කතරගම දෙවියන් ගැන අප අතර ඇති විවිධ ජන කතා, වංශ කථා, ඉතිහාස සාධක, පරීක්ෂා කර බලන කල ඒවා බොහෝ දීර්ඝ කාලයක සිට පැවැත එන බව පෙනෙයි.
කතරගම දෙවියන්ගේ උපත පිළිබඳ විවිධ කථන්දර හා මතිමතාන්තර රැසක් තිබේ. මේ හා සම්බන්ධ ජන කතා, වංශ කථා, ඉතිහාස කතා විශ්ලේෂණය කරන කල, ඉතා ඈත අතීතයේ සිට ම කතරගම දෙවියන් ඇදහීමෙ පවතින්නට ඇති බවත්, විවිධ වකවානුවලදී අප රටට එල්ල වූ නොයෙක් බලපෑම් හා මතිමතාන්තර නිසා කඳ සුරිදු ඇදහිල්ල විවිධාංගීකරණය වූ බවත් පෙනෙයි. එමෙන් ම සමහර අවස්ථාවලදී පරස්පර අදහස් ද, මේ කථා ප්‍රවෘත්තිය තුළ නිර්මාණය වී තිබේ.
කතරගම දෙවියන්ගේ ප්‍රභවය පිළිබඳ කතා රැසක් නිර්මාණය වී ඇත. එක් ජන කතාවකට අනුව කතරගම දෙවියන් යනු ඉන්ද්‍ර හා දේවසේනගේ පුත්‍රයෙකි. තවත් කථාවකට අනුව ප්‍රජාපති හා ඌෂස් යන දෙදෙනාගේ පුත්‍රයෙකි. එසේ ම කතරගම දෙවිඳු ශීව හා පාර්වතීගේ පුත්‍රයකු යැයි කියන ප්‍රබන්ධයක් ද තිබේ. ආර්ය දෙවිවරුන් හා අනාර්ය දෙවිවරුන් යන දෙවර්ගයාටම සම්බන්ධයක් ඇති එකම දෙවියා කතරගම දෙවිඳුන් වන අතර, ආර්ය හා අනාර්ය යන දෙකොටස වෙතින් ම පුද ලබන දෙවි කෙනකු වීම ද විශේෂත්වයකි.
දෙවි කෙනකු වීම
ශ්‍රී ලංකාවේ උතුරු දෙසින් රාවණා අඩවියට අයත් ඌව ප්‍රදේශයේ සිට, දකුණෙන් කතරගම දෙවිඳු අඩවියෙත් අවසන් වන ප්‍රදේශය හඳුන්වන්නේ රෝහණය නොහොත් රුහුණ යන නාමයෙනි. රෝහණ - රුහුණ යන්නේ අර්ථය හිරු නැ‍ඟෙන දේශය යන්න ය. මෙරට වාසය කරන ජාතීන් දෙකක් එක් කරන ප්‍රධාන බැම්ම වනුයේ ද කතරගම දෙවිඳුන් නොහොත් ස්කන්ධ කුමාර දෙවිඳුන් ය.
විවිධ වකවානුවලදී මෙරටට එල්ල වී ඇති ආක්‍රමණ හේතුවෙන් ද, විවිධ ජාතින්ගේ බලපෑම හේතුවෙන් ද කතරගම දෙවිඳුන්ගේ ප්‍රභවය අමතක වූ යුගයක කතරගම දෙවිඳුගේ ප්‍රභවය සම්බන්ධයෙන් ජනප්‍රවාද රැසක් ගොඩනැඟි ඇති බව පෙනෙයි.
කතරගම දෙවිඳුන් නොහොත් ස්කන්ධ කුමාර තෙමේ ශ්‍රී ලංකාවට ආවේණික දෙවි කෙනෙකි, ඉන්දියාවේ හිමාලය ඇතුළු දඹදිව මුළුල්ලේ තෙද බල පතන එක ම දෙවියෝ කතරගම දෙවියෝය. දෙවිවරුන් අතරදි කතරගම දෙවියෝ මහේශාක්‍ය ගණයට අයත් වෙති.
කතරගම දෙවියන්ගේ ප්‍රභවය පිළිබඳ නොයෙක් මතිමතාන්තර තිබුණ ද, මහාචාර්ය කඹුරුපිටියේ වනරතන හිමියෝ වැදගත් මතයක් ඉදිරිපත් කළහ. උන්වහන්සේට අනුව
කතරගම සිටින්නේ කාර්තිකේය නොහොත් ස්කන්ධ දෙවියන් නොව මියගිය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නායකයෙකි.
15 වැනි සියවසේ සිට දකුණු ඉන්දියානු බලපෑම් මෙරටට වැඩි වශයෙන් දැනෙන්නට විය. ඒ සමඟම ඔවුන් විසින් පූජා ලත් දෙවිවරුවන්ගේ ඇදහිලි ද වර්ධනය විය. මෙසේ ද්‍රවිඩ සංක්‍රමණිකයන්ගේ බලපෑමෙන් දකුණු ඉන්දියාවේ අතිශයන් ජනප්‍රිය වූ ස්කන්ධ කුමාර ඇදහීම ජනප්‍රිය විය. මෙසේ කතරගම දෙවිඳු හා ස්කන්ධ සම්මිශ්‍රණයක් මේ කාලයේ දී සිදුවිය හැකි බවට අනුමාන කළ හැකි වේ. මහනුවර කතරගම දේවාලයේ කපු නිලය දරන්නෝ දෙමළ ජාතිකයෝය. එහෙත් රුහුණු කතරගම දේවාලය ඇතුළු වෙනත් දේවාලවල කපු නිලය දරන්නෝ සිංහලයෝ ය.
මේ රටේ දෙවියන් අදහන ස්ථාන, දේවාල සහ කෝවිල් යනුවෙන් කොටස් දෙකක් තිබේ. දේවාල සිංහලයන් විසින් පරිපාලනය කරනු ලබන සිංහල දෙවියන්ගේ ස්ථාන වේ. කතරගම දේවාලය කවදත් සිංහලයන් විසින් පරිපාලනය කරනු ලබන දේවස්ථානයක් විය. මේවාට කෝවිල් යන පදය කවදාවත් ව්‍යවහාර වූයේ නැත. මේ අනුව සලකන විට කතරගම දෙවියා සිංහල දෙවියෙකි.
රෝහණය හෙවත් රුහුණ කිනම් බල ප්‍රදේශයකට අයත්ව තිබුණේ දැ'යි පළමුව හඳුනාගත යුතුය. රුහුණ නමින් එදා හැඳින්වූයේ දකුණෙන් කළු ගඟත්, නැගෙනහිරින් මහවැලි ගඟත් අතරෙහි පැවති ප්‍රදේශය යි. අනුරාධපුර යුගයේ සිට රුහුණ නිවහල් නිදහස් ප්‍රදේශයක් වූ අතර එහි ක්ෂත්‍රියයෝ හා විවිධ කුලවත්හු වාසය කළහ. ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා අඛණ්ඩ ඉතිහාසයක් ද එම ප්‍රදේශයට තිබේ.
රුහුණ ගුප්ත විද්‍යා,
රාවණා සංස්කෘතියේ අවම ලක්ෂණ වර්තමානය දක්වාම ඉතිරිව ඇත්තේ රුහුණේ ඌව හා සබරගමු පළාත්වල බව පෙනී යයි. පැරණි රෝහණ රාජ්‍යයට සබරගමුව පළාතෙන් හා ඌව පළාතෙන් විශාල කොටසක් අයත්ව තිබීම ඊට හේතුවයි. රුහුණු යක් නැටුමට ඉතා ප්‍රසිද්ධ ය. යක්ෂ ගෝත්‍රිකයන්ගේ නැටුම් - ගැයුම් වැයුම් ඈත අතීතයේ සිට පැවත; ඒවා ක්‍රමයෙන් අනෙක් පළාත්වලට ද විකාශනය වූ බව පෙනී යයි.
එමෙන් ම නාග ගෝත්‍රිකයන්ගේ නැටුම් ගැයුම් වැයුම්වලින් ද රුහුණ පෝෂිතය. මේ නැටුම් සඳහා භාවිත කරන්නේ රාවණා යුගයේ සිට අද දක්වා ම නො වෙනස්ව එන යක් බෙරය බව කිව යුතුය. එමෙන්ම රුහුණු පළාතේ ශාන්ති කර්ම හා තොවිල්වලදි යක් නැටුම්වල දක්නට ලැබෙන වෙස් මුහුණු යක්ෂයන්ට සමාන බව ඇතැම් විද්වතුන්ගේ අදහසයි. මේ භයානක වෙස් මුහුණු මගින් පෙන්වන්නේ යුද්ධෝපක්‍රමයක් ලෙස සතුරන් බිය ගැන්වීමයි. ලෝකයේ ප්‍රථම වරට යුද්ධවලදි වෙස් මුහුණ භාවිත කළේ රාවණා රජතුමා බව ඉතිහාසඥයන්ගේ මතය වී තිබේ. “රාවණා සංස්කෘතිය අදත් ලොවට කියා පාන රුහුණු නැටුම් කලාවට සමාන නර්ථන සම්ප්‍රදායක් ලොව වෙනත් කිසිඳු රටක නොමැති බව, ලොවට ප්‍රකාශ කළේ භාරතයේ සිටි පිළිගත් ජනප්‍රිය නැටුම් ශිල්පියකු වූ ‘ගෝපී ක්‍රිෂ්ණා’ මහතා ය.
අති දක්ෂ වෛද්‍යවරයකු මෙන් ම ගුප්ත විද්‍යාවේ කෙල පැමිණියකු වූ රාවණා රජතුමා කළ ගුප්ත ශාන්ති කර්ම අදත් රුහුණේ දක්නට ලැබේ. රුහුණ විවිධ ගුප්ත විද්‍යා, මන්ත්‍ර වලට ප්‍රසිද්ධ බව සියල්ලෝම දනිති.
රාවණා රජුගේ සහෝදරයකු බව කියන විභීෂණ රාම - රාවණා යුද්ධයේදී රාමගේ පැත්ත ගෙන තම සොහොයුරාට එරෙහි ව යුධ රහස් සහ අවි ආයුධ පිළිබඳ රාම කුමරු දැනුවත් කළ බැවින් රාවණා කුමරු සටනින් පැරදුණු බව සඳහන් වෙයි.
විභීෂණ මරණින් මතු දේවත්වයට පත්වූයෙන් ඔහුගේ මධ්‍යස්ථානය කැලණිය ලෙස හඳුන්වයි. මේ ස්ථානය වත්මන් කැලණිය නොව, නැගෙනහිර වෙරළෙහි, අඅහැඩඔය මුහුදට ගලා බසින ස්ථානය අසල තිබී මුහුදට ගිලී ගිය කැලණිය බව සමහර විද්වතුන්ගේ මතයයි. කොළඹට නුදුරු වර්තමාන කැලණි විහාරය කරවන ලද්දේ පොළොන්නරු යුගයේ විසු ‘කල්‍යාණවතී බිසව’ විසිනි.
මහා රාවණා
සූර්ය ශක්තියෙන් වැඩ ගත් රාවණා රජු කිසි විටෙකත් ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට සම්බන්ධයක් නැත. විභීෂණ ද එසේම ය. රාවණ යන්නෙහි අර්ථය ද හිරු යන්නට සමාන වේ. රාවණා දේශය නොහොත් සූර්ය වංශයේ දේශය රෝහණ දේශය නම් වේ.
රාවණා රජුගේ තවත් සොහොයුරකු වූ කුම්භකර්ණ “කුඹුක්කන්” කුමාරයා ද දක්ෂ කෘෂි විශේෂඥයකු මෙන් ම වාරි මාර්ග ක්ෂේත්‍රයේ කෙලපැමිණියෙක් ලෙස ද හැඳින් වේ.
කුඹුක්කන් අමුණ කරවා ඒ මඟින් ගංගා ජලය ලබාගෙන මහා වෙල් යාය අස්වැද්දු බව ජනප්‍රවාදයේ එයි, 1818 නිදහස් සටනට බත සැපයු නිසා සුද්දන් විසින් මේ අමුණ පුපුරවා විනාශ කර කුඹක්කන් ඔය ආශ්‍රිත ජනාවාසය ද විනාස කර ඒ තුළ යාල අභය භූමිය ස්ථාපිත කරන ලදී.
\
මේ භයානක වෙස් මුහුණු මගින් පෙන්වන්නේ යුද්ධෝපක්‍රමයක් ලෙස සතුරන් බිය ගැන්වීමයි. ලෝකයේ ප්‍රථම වරට යුද්ධවලදි වෙස් මුහුණ භාවිත කළේ රාවණා
රජතුමා බව ඉතිහාසඥයන්ගේ මතය වී තිබේ. “රාවණා සංස්කෘතිය අදත් ලොවට කියා පාන රුහුණු නැටුම් කලාවට සමාන නර්ථන සම්ප්‍රදායක් ලොව වෙනත් කිසිඳු රටක නොමැති බව, ලොවට ප්‍රකාශ කළේ භාරතයේ සිටි පිළිගත් ජනප්‍රිය නැටුම් ශිල්පියකු වූ ‘ගෝපී ක්‍රිෂ්ණා’ මහතා ය.
සතුරන් ගෙන් ආරක්ෂා වීමටත්, නොමැරී සිටීමටත් මහා බ්‍රහ්මයාගෙන් වරයක් ලබා ගැනීම සඳහා රාවණා රජු ගෝකණ්ණ භූමියේ භාවනායෝගීව වැඩ සිටි බව කියවේ. ගෝකණ්ණ යනු වර්තමාන ත්‍රිකුණාමලයයි. මේ ගෝකණ්ණ ප්‍රදේශයත් එදා රෝහණ ජනපදයට ම අයත් භූමි භාගයකි.
රාමායනයට අනුව සිතා දේවීය සගවා සිටියේ මුහුදු සුළං වදින ස්ථානයක මිස නුවරඑළියේ නො‍ වේ. වර්තමානයේ කතරගම පුදබිම හා හම්බන්තොට අතර මහා රාවණා කෝට්ටය, කුඩා රාවණා කෝට්ටය එම ස්ථානය බව ඇතැමුන්ගේ අදහසයි. එම ස්ථානය මුහුදට ගිලී ගිය කඳු දෙකක් වන අතර මෙය පරීක්ෂා කර බැලීම වටී.
තිස්සමහාරාමයේ බූන්දල අසල පතිරණවෙළ නම් ස්ථානයේ අවු. 1,25,000 පමණ පැරණි ජනාවාසයක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් කළ කැණීම්වලින් තහවුරු කරගෙන තිබේ. මෙය එදා රුහුණේ පැවති රාවණා රාජධානියේ නටබුන් විය යුතු ය.
කෝට්ටය
අම්බලන්තොට නගරය ආසන්නයේ පිහිටා තිබෙන උස්සන්ගොඩ නම් භූමි භාගය, එයටම ආවේණික වූ තුරු ලතාවන්ගෙන් මෙන් ම, මෙහි පස ද රත් පැහැයට හුරු ය. මුහුද ආසන්නයේ මෙවැනි භූමියක් පිහිටා තිබීම ද ඉතා අස්වාභාවිකය, මේ පිළිබඳ නොයෙක් අය විවිධ මත පළ කරති.
මෙය රාවණා රජුගේ දඩුමොනර අහස් යානය ගොඩ බැස්ස වූ එක් ස්ථානයක් බවත්, රාවණා රජු සහ රාම අතර යුධය සිදුවූයේ මේ උස්සන්ගොඩ දී බවත් මත දෙකක් පවතී.
ඉහතින් සඳහන් කළ පරිදි කතරගම දෙවිඳුන්, ඉන්දියාවේ හිමාලය ඇතුළු දඹදිව මුළුල්ලේ තෙද බල පැතුරු බව කියති. රාවණා රජ තෙමේ ද වින්ධ්‍යා කඳුවැටියේ සිට දකුණට විහිදී ගිය ලංකාව ද අයත් වන මුළුමහත් ඉන්දියාව වසාගත් අධිරාජ්‍යයකට හිමිකම් කියු බව ඉතිහාසඥයන්ගේ මතය වී තිබේ.
ඉහතින් දැක්වූයේ කතරගම දෙවිඳුන් හා රාවණා රජු අතර ඇති සමානාත්මතාව භෞතික වශයෙන් දැක්වීමට ඇති කරුණුවලින් ඉතා ස්වල්පයකි. මේ පිළිබඳ මනා ලෙස විශ්ලේෂණය කර බැලුවොත් මීටත් වඩා උචිත කරුණු ගොනු කර දැක්වීමට හැකි වනු ඇත.
රාවණා රජතුමාගේ වාහනය, දඩුමොණරයයි. කතරගම දෙවියන්ගේ වාහනය මොනරායි. රාවණා රජුගේ වස්ත්‍ර රක්ත වර්ණයි. කතරගම දෙවිඳුන්ගේ වස්ත්‍ර ද රක්ත වර්ණය. රාවණා රජු සහ කතරගම දෙවිඳුන් යන දෙදෙනාම ‘මහා ඝෝෂ’ නමින් හැඳින්වීම ද තවත් විශේෂත්වයකි.
රාවණා රජුගේ සොහොයුරු විභීෂණ, කුම්භ කර්ණ, කුවේර දේවත්වයෙහිලා සලකන අතර, රාවණා පමණක් දෙවියෙක් නොවන්නේ කෙසේ ද? රාවණා අද වන තෙක් ම මහා බලගතුව අදහන දෙවියෙකු බවත්, රුහුණු පුරයට අධිපති, ස්කන්ධ කුමාර හෙවත් කතරගම කඳ කුමරු රාවණා දෙවියන්ම බවත් විද්වත්හු පවසති.
අනාදිමත් කාලයක සිටම අප රට වරින් වර විවිධ ජාතීහු ආක්‍රමණය කළහ. ඒ කවර කලෙකදීවත් සම්පූර්ණයෙන්ම රුහුණු ජනපදය යටත් කර ගැනීමට ඔව්හු අපොහොසත් වූහ. මේ ආක්‍රමණවලදී අපගේ ජාතික වීරයන් තාවකාලික පසුබැසීම සඳහා තෝරා ගත්තේ ද රුහුණු ජනපදයයි.
අපේ මවුබිම ඉතා අභාග්‍යසම්පන්න ලෙස විවිධ විදේශ ආක්‍රමණවලට යටත්ව සිටි අවදීන්හී මවුබිම බේරා ගැනීමේ පුරෝගාමීන් වූයේ රුහුණේ රජවරුවරුන්ය. අනෙක් කිසිම රජ කෙනෙකුට අපගේ මවුබිම සම්පූර්ණයෙන්ම නිදහස් කර ගැනීමට හැකියාවක් ලැබී නැත.
අසල්වැසි ඉන්දියාව
ලක්දිවෙහි වැඩි කොටසක් තම පාලනය යටතට ගෙන විසූ එළාර රජුගෙන් අප රට මුදවා ගැනීමට දැඩි අධිෂ්ඨානයකින් ක්‍රියා කරමින් සිටි ගැමුණු කුමාර තෙමේ පොහෝ දිනක පෙහෙවස් සමාදන් වී කතරගම ගං ඉවුර අසල භාවනාවේ යෙදී සිටියදී එම ස්ථානයට කතරගම දෙවියන් වැඩ නිර්භයව සටන් කිරීමට ගැමුණු කුමරුට උපදෙස් දී තමාගේ සහයෝගය නිතරම ලබා දෙන බවත් පවසා අතුරුදන් විය. රජු ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව මාළිගයට ගොස්, බලයෙන් පිරිවරා එළාර රජ ජය ගත්තේය. යුධය ජයගෙන රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා කෘතගුණය දැක්වීම පිණිස කතරගම දේවාලය කර වූ බවක් සඳහන් වේ.
දසක තුනකටත් වඩා වැඩි කාලයක් අප රට කුරිරු ත්‍රස්තවාදයෙන් වෙලාගෙන තිබු බව අප කවුරුත් දන්නා කරුණකි. අපේ රටේ නායකයෝ බොහො දෙනෙක් ඝාතනයට ලක්වූහ. අසල්වැසි ඉන්දියාවේ එවකට සිටි නායකයාත් ඝාතනයට ලක්විය.
අඅසරණ ජනතාව පමණක් නොව රාජ්‍ය දේපළ විශාල ප්‍රමාණයෙන් විනාශයට ලක්වීය. දසක තුනක් පුරාවට මේ රට පාලනය කළ කිසිම නායකයෙකුට ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි විය.
අතීතයේ සිට මේ දක්වා සියලු දේ සිදුවී තිබෙන්නේ එක්තරා රිද්මයකට අනුවමය. අවසානයේ අතීතයේදී මෙන් රුහුණු පුත්‍රයෙක්ම අපට නිදහස් නිවහල් ජාතියක්ව නැගී සිටීමට අවස්ථාව උදා කළේ ය.
මේ සියලු ආක්‍රමණවලදී රට නිදහස් කර ගැනීමට රුහුණෙන් රජ කෙනකු පහළ වීමෙන් ගම්‍ය වන්නේ රාවණා නොහොත් කතරගම දෙවිඳුන්ගේ චරිතයේ නිර්භීත භාවයයි. එලෙස ම එ තුමා ශ්‍රී ලංකාව දෙස විමැසිල්ලෙන් බලා සිටින ආකාරය යි.

No comments:

Post a Comment