Wednesday, May 7, 2014

බුදු බව පතනා ආනන්ද මෛත්‍රිය හිමි

බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ ගැන නොදන්නා කෙනෙක් මේ ලංකාවේ ඉන්න බෑ නෙ.අත දරුවොයි පොඩි බබාලයි ඇරෙන්න.ඉතින් බලංගොඩ හාමුදුරුවන්ගේ ජීවිතය ගැන උන්වහන්සේගේම වචන වලින් කියවුන දේවල් වලින් ලියවුන පොතක් තියෙනවා.මේ තියෙන්නේ ඒ පොත.

මේ පොත හරිම රසවත්.එක හුස්මට කියවන් යන්න තරම් රසවත්.අපිට පෙනෙන වගේම නොපෙනෙන ලෝකය ගැනත් අලුත් විදිහට හිතන්න ඕනි කියලා හිතන්න පොළඹවන පොතක්.මේ පොතේ අටවෙනි පරිච්ජේදය තමයි "පැරණි බණ පොතේ මාර කථාව මා පිළිගන්නවා" කියන්නේ.

මාරයා කියන්නෙත් අපි හොඳට දන්න කියන කෙනෙක්නෙ.ඉතින් එයා කවුද කියලා විස්තර කරන්න යන්නේ නෑ මම.සමහරු කියනවා මේ මාරයා කියන්නේ කෙලෙස් වලට කියලා.ඒත් බලංගොඩ හාමුදුරුවෝ කියන්නේ මාරයා කියන්නේ පුද්ගලයෙක්.වඩා නිවැරදිව කිව්වොත් මිත්‍යා දෘෂ්ටික දෙවියෙක්.

හාමුදුරුවෝ කියන විදිහට එදා ඉන්දියාවේ බුදු දහම විනාශ කිරීමට මිත්‍යාදෘෂ්ටික පක්ෂ වලට සහය දුන්නේ මේ මාරයා.අපි බණ කතා වල අහලා තියෙනවා සිදුහත් කුමාරයා බුදු වෙන්න කලින් වගේම බුදු බවට පත් වුනාට පසුවත් මේ මාරයා උන්වන්සේ හමුවෙන්න ඇවිත් උන්වහන්සේගේ අරමුණ වෙනස් කරන්න උත්සහ කළා කියලා.නමුත් බුදු හාමුදුරුවන්ගේ අසම සම ඥානය නිසා උන් වහන්සේගේ අරමුණ වෙනස් කරන්න මාරයට පුළුවන් වුනේ නෑ.

හාමුදුරුවෝ මෙහෙම කියනවා.

"බුදු හාමුදුරුවන්ගෙන් පස්සේ,සංඝයා බොහොම අමාරුවෙන් ශාසනය ආරක්ෂා කරගන්න උත්සාහ කළා.නමුත් නොයෙක් භේද ඇති වුනා.ඒත් ඒවාට මුහුණ දෙමින් බොහෝ දුරට ථෙරවාදී සංඝයා කටයුතු කලත් උතුරේ(ඉන්දියාවේ) ථෙරවාදය නැති වෙන තැනට කටයුතු සිද්ධ වුනා.මහායානය බලවත් වුනා.මේවාට මුල් වුනේ මාරයා කියන එකයි මගේ විශ්වාසය.අන්තිමට මුසල්මානුවන් ලවා බුද්ධාගම සම්පූර්ණයෙන්ම විනාශ කෙරෙව්වා..."

දැන් තමයි වැදගත්ම කොටස.මට ඉස්මතු කරන්න ඕනි වුනෙත්

මේ කාරණය.කියවන්නකෝ...

"ඉතින් මා හිතන්නේ මේ ඔක්කොටම මුල මාරෝපක්‍රමය කියලයි.ඔහු හැමතිස්සෙම බුද්ධාගම විනාශ කරන්න හැකි හැම දෙයක්ම කරනවා.මේ උපක්‍රමය තවම නැති වුනේ නෑ.දෙවිවරු මොහුට බයයි.එයාගේ පිරිස බලවත්.ඒ නිසා ඔහු එක්ක තරඟයට යන්නේ නෑ.ඒ නිසා එයා මර්ධනය කරන්න මනුෂ්‍යයන්ම ඉදිරිපත් වෙන්න ඕනි.භික්ෂූන් වහන්සේලා ආගමානුකූලව,නියම ප්‍රතිපත්ති පුරමින්,ස්ථිර අධිෂ්ඨානයෙන් වැඩ කරනවා නම් මාරයාට මොකවත් කරන්න බෑ"

ඊළඟට මේ ජේදය.මේක කියවනකොට මතක්‌ වෙන්නේ මොන රටද? හා කියන්න බලන්න...

"උන්වහන්සේලා ලෞකික සැප සම්පත් පැත්තට හැරුනාම මාරයාට වාසියි.ඉන්දියාවේ ඉස්සර වුනෙත් ඕකයි.ඉන්දියාවේ ඉස්සර වුනෙත් ඕකයි.ඉන්දියාවේ භික්ෂූන් වහන්සේලා රජවරුන් සතුටු කිරීමට ඒ අයගේ අප උපස්ථානයට වාල් වුනා.අනිත් රටවලත් එහෙමයි.නාලන්දා විහාරයේ භික්ෂූන්ගේ බලය තිබුනා.නමුත් ඒ එක්කම ඒ අයගේ ආඩම්බරයක් තිබුනා.ඒ අය තමයි මුළු ඉන්දියාවේම ප්‍රධාන ආචාර්ය වරුන් කියලා.ඒකම තමා විනාශයට හේතු වුනේ.."

"සියලුම භික්ෂූන් වහන්සේලා ප්‍රතිපත්ති ගරුකව භාවනානුයෝගීව සිටියේ නම් මාරයාට මොනවත් කරන්න බැහැ.ඒ පැත්ත දුර්වල වෙනකොට මාරයාට ඉඩ ලැබෙනවා.දෙවියන් විසින් කල හැකි දෙයකුත් නෑ.දෙවියන් වුනත් බලවත් වෙන්නේ අපි පින් කරලා පින් අනුමෝදන් කලාම.අපි නිකම් සිරිතක් වශයෙන් "එත්තාවතාච අම්හේහි" කියලා කියනවා.ඒත් දෙවියන්ට අනුමෝදන් වෙන්න දෙයක් නෑ.මෙහෙ කරන පින්කම් වැඩිහරිය නම්බුව කීර්තිය බලාගෙන කරන ඒවානේ.ශ්‍රද්ධාව බොහොම ටිකයි තියෙන්නේ.සල්ලි එකතු කිරීම,ආධාර එකතු කිරීම වැනි වෙනත් අරමුණු වැඩි හරියක් පින්කම් අස්සේ තියෙන්නේ.ඉතින් ඔහොම කරලා එත්තාවතාච... කිව්වම අනුමෝදන් වෙන්න දෙවියෙක් ඉන්නවය.ඉතින් පින් අනුමෝදන් වෙලා බලවත් වෙන්න දෙවිවරුන්ට අප කරන පින් මදි.ඒ නිසා අපේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු බොහොම දුර්වලයි......"

හ්ම්ම්..දැන් ඔයාලා හිතනවා ඇති ප්‍රමුදි ට මොකද මේ එක පාරට මේවා මතක වුනේ කියලා.ඊයේ ගාල්ල වඳුරඹ පැත්ත ගොඩක් උණුසුම් වුනා කියලා ඔයාලා දන්නවා ඇතිනේ.තමන් මෛත්‍රී බුද්ධ කියලා කියාගන්න කෙනෙකුගේ ආගමික මද්‍යස්ථානයක් වටලන්න ගිහින් ඇති වුන කලබගෑනිය තමා ඒ.
කවුරු මොනවා කීවත් මට නම් ඒ සිද්ධිය බලන් ඉන්නකොට ඇති වුනේ හරිම ලැජ්ජාවක්.කියාගන්න බැරි තරම් පිළිකුලක්.
නිකරුනේ තණකොළ ගහක්වත් කඩන්න එපා කියන්න තරම් අවිහිංසාවාදියෙක් වුන බුදු හාමුදුරුවන්ගේ ධර්මය රැක ගන්න ඇයි මේ වගේ හිංසාකාරී විදිහට ඉස්සරහට යන්නේ??
අපි අපේ රට,ජාතිය.ආගම රැක ගන්න ඕනි තමයි.මොන දේ කරන්නත් පුළුවන් වෙන්නේ අපිට කියලා රටක්,ජාතියක්.සංස්කෘතියක් රැකිලා තියෙනවනම් විතරයි.ඒත් මේ විදිහට වෛරය වපුරලා එහෙම කරන්න පුලුවන්ද? එහෙම කරලා රටක් ලබාගත්තත් ඒකෙන් ඇති ඵලේ මොකක්ද??

දැන් ඔයාලට තේරෙනවා නේද මම මේ ජේද ටික දැම්මේ මොකටද කියලා.අපේ රටෙත් මේකම තමා වෙලා තියෙන්නේ.

අද හැබෑ ධර්මය මොකක්ද කියන එක තේරුම් ගන්න බැරි තරමට මිනිස්සු වල්මත් වෙලා.කවුරුහරි කිව්වොත් මම බුදු වුනා,මට මොකක්හරි ශක්තියක් ලැබුනා කියලා අපේ මිනිස්සුත් පෝලිමේ යනවා එතෙන්ට.තව ටික කාලෙකින් කවුරුහරි කිව්වොත් දැන් තියෙන ත්‍රිපිටකය වැරදියි මම අහවල් ගල් ගුහාවේ තිබිලා නියම ත්‍රිපිටකය හොයාගත්තා කියලා හෙට අපේ මිනිස්සු ඒක දොහොත් මුදුන් දීලා පිළිගනියි.
ඔන්න අපේ රටේ හැටි!

ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නේ?? අපේ "බෞද්ධයන්" බහුතරයක් අද හඹා යන්නේ නිෂ්ඵල භෞතික දේවල් පිටිපස්සේ.සල්ලි පස්සේ ගිහින්,කරන්න පුළුවන් හැම ජරා වැඩේම කලාට මොකද අන්තිමේදී හෘද සාක්ෂිය කියන එකෙන් බේරෙන්න බෑ.කළකම් පළදෙනවා කියලා ඇහෙනකොට ඉවසන්න බෑ.ඉතින් මොකද කරන්නේ යනවා එක එක තැන් වලට.මේ ආත්මෙදිම බුදු වෙන්න පුළුවන් තැන් කියයි අර තැන් කියයි මේ තැන් කියයි..

පන්සල් වල වුනත් අද මුල් තැන දෙන්නේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය දියුණු කරන්න නෙවෙයි.පන්සලේ පිළිම හදන්නයි,සල්පිල් තියන්නයි, එක එක ගොඩනැගිලි හදන්නයි,අනිත් පන්සලට වඩා මේ පන්සල දියුණු කරන්නයි(දියුණු කරනවා කියන්නේ ගොඩනැගිලි හදන එකට)

ගොඩනැගිලි,පිළිම හැදෙන්න ඕනි.ඒත් මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය කුණු වෙලා ගඳ ගහනකොට මොන පිළිමේ, මොන ගොඩනැගිල්ල හැදුවත් මොකටද...??

ඒ වගේම මොන දේ මොන විදිහට සිද්ධ වුනත්,කවුරු මොනා කීවත් කලත් අපේ වගකිව යුතු බලධාරීන් වගේම මහානායක ස්වාමීන් වහන්සේලා මේව ගැන වචනයක් වත් කියන්නේ නෑ.මට නම් හිතෙන්නේ දැන් වත් මේ නිශ්ශබ්දතාවය නතර වුනොත් හොඳයි කියලා.

අපි අන්‍යාගමිකයන්ට බනිනවා අපේ උරුමය විනාශ කරනවා කියලා.ඒත් ඇත්තටම අපේ උරුමය නැති කරගන්නේ අපිම නෙවෙයිද? අන්‍යාගමික පිරිස් වලිනුත් තර්ජන එනවා.ඒක නෑ කියන්න බෑ.ඒ වුනාට අපේ උරුමය රැක ගන්න අපි මොනාද කරලා තියෙන්නේ??

බුදු දහමට එදත් තර්ජන තිබුණා,අදත් තියෙනවා.අනාගතයේදීත් තියේවි.එදා ඒ තර්ජන වලට මුහුණ දුන්නේ ධර්මයෙන් ධර්මය ප්‍රචාරය කරලා.අද නම් මුහුණ දෙන්න යන්නේ අතින් පයින්..
එතකොට හෙට...............?????

https://www.facebook.com/captainsrilankanhero

No comments:

Post a Comment