බුදුරජාණන්
වහන්සේට පරිනිර්වාණ තුනක් ඇත. ක්ලේශ පරිනිර්වාණය, ස්කන්‍ධ පරිනිර්වාණය,
ධාතු පරිනිර්වාණය යනු එම පරිනිර්වාණ තුන යි. අප බුදුරදුන් ගේ ක්ලේශ
පරිනිර්වාණය ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සිදුවිය. ස්කන්‍ධ
පරිනිර්වාණය කුසිනාරා නුවර මල්ල, රජ දරුවන් ගේ උපවත්තන සල් වනයේ දී
සිදුවිය. ධාතු පරිනිර්වාණය අනාගතයේ දී සිදු වෙයි. එය කෙසේ සිදුවේ ද?
ගෞතම බුදුසසුනට වසර පන්දහසක් කල් සම්පුර්ණ වූ කල්හි වෙසක් පුර පසළොස්වක
පොහෝ දින ලංකාවේ මයියංගනය, මැදිරිගිරිය, කැලණිය, දීඝවාපිය, සේරුවිල ,
ගිරිහඬු සෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය ආදී බොහෝ ස්තූපයන්හි වැඩ සිටින
සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ
ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්ථානයට එක් රැස් වෙති. ධාතු නිදන් කළ
දිනයේ පටන් ඒ දක්වා ධාතු ගර්භය තුළ දැල්වෙමින් පැවති සිංහ තෙල් පහන් එදින
නිවී යයි.
එකල්හි රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයට රැස් වූ ඒ සියලු
ම සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී එක නූලක අමුණන ලද මුතු ඇට පෙළක්
මෙන් නාගදීපයේ රාජායතන චෛත්‍යය වෙත වැඩම කර අප බුදුරදුන් දෙවැනි වරට
ලක්දිවට වැඩම කළ අවස්ථාවේ වැඩ හිඳ නාගයින්ට දහම් දෙසූ මැණික් පුටුව මත
තැන්පත් වෙති.
එහි දී අප්‍රමාණ දිව්‍ය නාගයින් ගේ මහත් වූ වන්දනා
පුද සත්කාර ලබන සර්වඥ ධාතුන් වහන්සේලා මැණික් පුටුවත් සමගින් ම අහසට පැන
නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති.
එකල්හි
දඹදිව හා ලෝකයේ තව බොහෝ රටවල්වල වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද දිව්‍ය
ලෝකයන්හි බ්‍රහ්ම ලෝකයන්හි නාග ලෝකයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද
ඒ ඒ ස්ථානයන් ගෙන් අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට
වැඩම කරති.
ඒත් සමග ම මහත් වූ චජ්‍රාසනයක් පොළොව පළාගෙන ඉහළට මතු
වෙයි. එවිට සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා වජ්‍රාසනය මත තැන්පත් වෙති. පසුව
ඒ සියලු ම ධාතුන් වහන්සේලා එකට එක්වී බුදුරුව මවා ගනිති.
ලලාට
ධාතුව ලලාට ධාතුව තිබූ තැන ම පිහිටයි. අකුධාතු දෙනම අකු ධාතු දෙනම තිබු තැන
ම පිහිටයි. සතර දළදා සතර දළදා තිබූ තැන ම පිහිටයි. ශ්‍රීවාස්ථී ධාතුව
ශ්‍රීවාස්ථි ධාතුව තිබූ තැන ම පිහිටයි. සියලු කේශ ධාතු හා ලෝම ධාතු පෙර ඒ
ධාතු තිබූ ස්ථානයන්හි ම පිහිටයි. මුං ඇට, කඩසහල්, අබ ඇට යන ප්‍රමාණයන්ට
කැඩී බිඳී වෙන් වී ගිය නැළි දහසයක අස්ථි ධාතු පෙර ඒ ධාතු තිබූ ස්ථානයන්හි
නොවරදවා ම පිහිටයි. ඒ ත් සමග ම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා අසූවක්
අනුව්‍යංඡන ලක්‍ෂණ ද පහළ වෙයි.
එදා බුදුරදුන් බුදු වූ දිනයේ දී
මෙන් මෙදිනත් දස දහසක් සක්වළ ඒකාලෝක කරමින් බුද්ධ ශරීරයෙන් සවණක් රැස්
විහිදෙයි. සියලු දිශා බබළයි. වඩ වඩාත් බබළයි.
මෙය දකින දිව්‍ය
බ්‍රහ්මයෝ “ අද අප බුදුන් ගේ ධාතු පරිනිර්වාණය සිදු වේ” යයි කියා වහ වහා
දිවමල්, දිවගඳ ගෙන බොහෝ දෙව්බඹුන් ද සමගින් දඹදිව ජය ශ්‍රී මහා බෝධීන්
වහන්සේ වෙත වහ වහා රැස් වෙති.
එකල්හි ඒ බුදුරුව අහසට පැන නැගී යමා
මහා පෙළහර දක්වා අහසින් බැස වජ්‍රාසනය මත වැඩ සිටිති. ඒ ත් සමග ම ධාතු
ශරීරයෙන් මහත් වූ ගිනි ජාලාවක් හට ගෙන ආදාහනය වෙයි. මෙය දකින දේවතාවෝ “ මේ
අප බුදුන් දකින අවසාන වතාවයි. අදින් පසු අපට ධාතුන් වහන්සේ නමක් වත් දැක
බලා ගැනීමට නොහැකි වේ. අහෝ ! මුළු ලොව ම හිස් වී ගියේය. අඳුරු වී ගියේය.
බුද්ධාලෝකය නිවී ගියේ ය”යි කියා මහත් වූ දුකට පත් ව හඬා වැටෙති.
මේ ආදාහනයේ දී අබ ඇටයක් තරම් කුඩා වූ සර්වඥ ධාතුන් වහන්සේ නමක් වත් ඉතිරි
නොවෙයි. සියලු ම ධාතු ආදාහනය වෙයි. අළු වත් දැලිවත් ඉතිරි නොවෙයි. සියලු
ධාතු දැවී ගිය කල්හි මහත් වූ ගිනි කඳ අතුරුදහන්වී යයි මෙසේ ධාතු
පරිනිර්වාණය සිදු වන බව දත යුතු යි.
(සුමඞ්ගලවිලාසිනී, පූජාවලිය, සද්ධර්මරත්නාකරය)
No comments:
Post a Comment