Monday, October 21, 2013

රාවණා රජුට බුදුන් වදාළ ලංකාවතාර සූත්‍රය - රාවණා 10 වන කො‍ටස

අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේදී, රාවණ රජු ලංකාවේ පළමු බෞද්ධ රජතුමායි යන මාතෘකාවෙන් ලියන ලද ලිපියේදී බුදුන් වහන්සේ විසින් රාවණ රජු අරබයා දේශනා කල සූත්‍රය යනුවෙන් ලංකාවතාර සූත්‍රය පිළිබද සදහනක් කලා. මෙම සූත්‍රය අපට ථෙරවාදී බුදු දහම තුල හමුවන්නේ නැහැ. මීට අමතරව සද්ධර්ම කුණ්ඩලී, විසකුම්භන වැනි සූත්‍ර දේශනාත් ථෙරවාදී බුදුදහම තුල දක්නට නොලැඹෙන නමුත් මහායාන බුදුදහමේ දක්නට ලැබෙනවා.
                    කොහොම වුණත් ලංකාවතාර සුත්‍රයේ සිංහල පිටපතක් නම් දක්නට නැහැ. මුල් පිටපත දක්නට ලැබෙන්නේ චීන භාෂවෙන්. මේ ලිපි පෙලෙන් ගෙන ඒමට බලා පොරොත්තු වන්නේ ලංකාවතාර සුත්‍රයේ සිංහල පර්වර්තනයයි.

මෙය අපේ සැබෑ ඉතිහාස ගවේෂණයට සම්බන්ධ වන්නෙ කෙසේදැයි යමෙක් අසනවා නම්, එයටත් සටහනක් තියලම සුත්‍රය දේශනාවට යොමු වෙන්නම්. ශ්‍රි ලංකාව යනු ථෙරවාදී බෞද්ධ රටක්, 
ලංකාවේ බෞද්ධයන් වැඩි පිරිසක් ථෙරවාදී බෞද්ධයන් විදියට තමයි හදුනාගත හැක්කේ. අප රටේ ජනප්‍රිය මතය නම් මහින්දාගමනයත් සමගම බුදුදහම ලංකාවට පැමිණියා යැයි කියන එකනේ. එය එසේ නොවී මහින්දාගමනයත් සමගම ථෙරවාදී බුදුදහම ලංකාවේ ස්ථාපිත වුණායැයි කියලා කියන එක තමයි මාගේ මතය නම්. එයට උදාහරණ ලෙස මෙම ලංකාවතාර සූත්‍රය ගන්න පුළුවන්. මානෑවේ විමළරතන හාමුදුරුවන් වහන්සේට අනුව නම් බුදුරජානන් වහන්සේ ප්‍රථමයෙන්ම අභිධර්මය දේශනා කරලා තියන්නේ ලක්වැසියන්ටයි.
අපි උපකල්පනය කලහොත් රාවණ රජු වැනි අති ශ්‍රේෂ්ඨ රජෙක් මහායාන බෞද්ධයෙක් කියලා, මහින්දාගමනයේ අද දක්වා තිබෙන ථෙරවාදී ආධිපත්‍ය මත රාවණ ඉතිහාසය වගේ දැවැන්ත, ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් මැකිය නොහැකි බැවින් එය ලක් ඉතිහාසයෙන් සූක්ෂමව සගවා තැබූ බව අපට සිතන්න පුළුවන්. මොකද මහායානය ඉස්මතුවීමට කිසිම ඉඩක් අපි දන්නා ලක් ඉතිහාසය තුළ දක්නට නැහැ. නියම බෞද්ධයන් ලෙස මහායාන හෝ ථෙරවාදී ලෙස නොබෙදී විවෘත මනසකින් විමසීමට, ගවේෂණයට අපි යොමුවිය යුතුයි

       ඒ නිසාම ලංකාවතාර සූත්‍රය
මෙ දක්වා බ්ලොග් කරණයේ යෙදුන සරළ භාෂාවෙන් ගෙන එන්නේ.

පළමු වැනි පරිච්ඡෙදය

රාවණ රජු උපදෙස් ඉල්ලයි...:: Ravana Asking for Instruction

මා විසින් මෙසේ අසන ලදි, අප භාග්‍යවතුන් වහන්සේ අති විශාල වූ භික්ෂූන් පිරිවර හා විවිධ වූ බෞද්ධ දේශයන්ගෙන් පැමිණි බෝධිසත්ව වරුන් සමගින් මහා සාගරයේ මලය කදුකරයේ කදු මුදුනේ පිහිටි, නොයෙක් වර්ගයන්ගේ මල් වලින් හා විවිධ වර්ගයේ හා මැණික් වලින් සෑදුන ලංකා මන්දීරයේ වැඩ වසනලදි. මහා මථී(මහා ප්‍රඥාවන්ත) බෝධිසත්වයන් විසින් නායකත්වය සපයන ලද මෙම බෝධිසත්ව-මහාසත්වයන් සමූහය විවිධ වූ සමාධියන්ගෙන් පරිපූර්ණ වූද, දසවිධ ආත්ම දමනයන්ගෙන්ද, දස බලයන්ගෙන්ද, අධ්‍යාත්මික ශක්තීන් 6කින්ද, සමන්විත වූවන් වූ අතර, මෙම බෝධි සත්වයන් වහන්සේලා සියළු බුදු වරුන්ගෙන් විවරණ ලැබූවන් වූහ.හදවත් තුල විද්‍යාමාන වූ අයුරින්ම බෝධිසත්වයන් වහන්සේලා විසින් ලෝකයේ පරමාර්ථය හා අර්ථය මැනවින් වටහාගෙන සිටයහ. උන් වහන්සේලා විසින් විවිධ සත්වයන්ගේ හැසිරීම හා මානසිකත්වයන්ට අනුව විවිධ චාරිත්‍ර විධි පාලනය, ඉගැන්වීම හා විනයානූ කූලව වැඩ කරන අයුරු දැන සිටි අතර පංච ධර්මයන්, තුන් ස්වභාවයන් , විඥානයන් අටක මැනවින් දක්ෂයන් විය.
ඒ සමයේදී, සත් දිනක් තිස්සේ මහා සාගරයට අධිපති වූ මකර රජුගේ ස්ථානයේ ධර්ම දේශනා කරමින් වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ ඉන් පිටතට වැඩම කොට ගැන නිම කළ නොහැකි තරම්ව සිටි ශක්‍ර, මහා බ්‍රහම්ම හා මකර රජු ඇතුළු දිව්‍ය සමූහයා අමතා, මලය කදුකරයේ ලංකාව දෙස බලා සිනාහ පළ කරමින් මෙසේ වදාළ සේක...

        “අධ්‍යාත්මික ඥානයෙන්, දැනුම, විද්‍යාවෙන් පරිපූර්ණ වූ අරහත් වූ අතීත තාථාගතයන් වහන්සේලා විසින්, දාර්ශනිකයන්ගේ දැනුමින්, ශ්‍රාවකයන්ගේ හා පසේ බුදුවරුන්ගේ විඥානයෙන්(දැනීමෙන්) එහා ගිය ඉතා ගැඹුරෙන් ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත යුතු මෙම සත්‍ය දේශනා කරන ලද්දේ මලය කදුකරයේ පිහිටි ලංකා මන්දීරයේදීය. එලෙසම මමත්, යක්ෂ ගොත්‍රිකයන්ගේ නායකයා වූ රාවණ රජුගේ ප්‍රයෝජනය උදෙසා මෙම සත්‍ය දේශනා කරමි.“
                         මහා සගරයට අධිපති වූ මකර රජුගේ මාලිගාවෙන් පිටතට පැමිණි බුදුන් වහන්සේ ඇතුළු පිරිස දුටු ධ්‍යාන ලාභී රාවණ රජු ප්‍රීතිමත් වී, “මම බුදුන් වහන්සේට ලංකාවට ඇතුළු වන ලෙස ඉල්ලනවා. මෙම සංසාරය නැමති දිගු රාත්‍රියට උන්වහන්සේගෙන් සෙතක් සැලසේවී, උන්වහන්සේ හොදක් කරාවි, දෙවියන් මෙන්ම මනුෂ්‍ය වර්ගයාද සතුටට පත්වේවි.“
ඉන් අනතුරුව, රාක්ෂ අධිපති රාවණ රජු තම සහපරිවර සමගින්, පුෂ්පක නැමති දිව්‍යමය රථයෙන් බුදුන් වහන්සේ සමීපයට පැමිණියේය. රථයෙන් පිටතට පැමිණී රාවණ රජු හා පිරිවර, ඉන්ද්‍රනීල මාණික්‍යකින් සෑදුන දණ්ඩකින් බෙරයක් වැනි සංගීත භාණ්ඩයක්ද, නිල් මාණික්‍ය ඔබ්බවා, මනා ලෙස නිර්මාණය කරන ලද වීණාවක් කහපැහැති අබරණින් හා අනර්ඝ සළුවලින් සාදන ලද ආධාරකය(බෝ) මගින් වයමින්, සප්තය, රිෂභය, ගාන්ධාර්වය, ධෛවතය, නිෂාධය, මධ්‍යමය හා කෛෂික වැනි සවණ පිණන අයුරින් ග්‍රම, මර්චනාදියෙන් උස්පහත් කරමින්, බටනලා වාදනය සමගින් හඩ මුසු කොට කාව්‍යන් ගයමින් වමේ සිට දකුණට තෙවරක් බුදු රදුන් වටා ගමන් කරමින් මෙසේ උපදෙස් ඉල්ලන ලදි.
1. සත්‍යයේ උතුම් වූ මුලධර්මයන් වනුයේ, සවාත්මයෙන් මිදුනා වූද, සියළු කාරණා වලට ඉහලින් නැගි සිටින්නා වූද, අපවිත්‍ර දෑ වලින් තොර වූ දෙයයි. එය යමෙකුගේ අභ්‍යන්තරයෙන් එකතු වන්නා වූ දැනුම කෙරෙහි යොමුවේ. ස්වාමීනි... මට ඒ සත්‍යට යන මාර්ගය පෙන්වන්න.
2. සුගත යනු අපරිමිත ශිලයෙන් අකලංක වූ ශරීරයයි. එම ශරීරයේ වෙනස් වීමන් ප්‍රත්‍යක්ෂය, එය ස්වාත්මයෙන් අවබෝධ කරගත්තා වූ සත්‍ය විවරණය කරයි. එය ලංකාවට පැමිණෙන සේක්වා. මුණිවරයානෙණි මේ ඒ කාලයයි.
3. මෙම ලංකා පුරවරය අතිත බුදුවරයන් වහන්සේලා පවා වැඩ සිටි භූමියකි, ස්වාමීණී, මට දැන් ඉහළම සත්‍ය පෙන්වන්න. විවධ චාරිත්‍ර විධින්ට අනුගතව සිටින යක්ෂ ගෝත්‍රිකයන් පවා ඇහුන්කම් දේවි.
ඉක්බිති රාවණ රජු විසින් තව දුරටත් තෝටක රිද්මයන්ට අනුගත වෙමින් මෙම ගතා ගායනා කරන ලදි.
සත්දිනකට පසු, භාග්‍යවතුන් වහන්සේ මහා සාගරයට අධිපති මකර රජුගේ වාසස්ථානයෙන් පිටත මුහුදු වෙරළට වැඩි සේක. මෙසේ බුදුන් වහන්සේ වඩිත්ම අප්සරාවන්, සුක, සරණ හා පණ්ඩිතයන්ගෙන් සෑදුන යක්ෂ සමූහයා පිරිවරාගෙන බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයට පැමිණියේය. අනතුරුව පුෂ්පක රථයෙන් බැස තථාගතයන් වහන්සේට වැද නමස්කාර කොට එක්තපැස්ව තමන් හදුන්වා දුන්නේය.
මෙතනට පැමිණි මම රාවණ නම් දසසිස් රාක්ෂස රජු වෙමි, හිමියෙනි මා ඇතුළු ලක් වැස්සන්ගේ ගෞරව පූර්වක කරුණාව පිළිගන්නා සේක්වා.
මෙලෙස අපි ලංකාව සූත්‍රය දේශනා කිරීමට රාවණ රජු විසන් බුදු රජාණන් වහන්සේට ආරාධනා කළ ස්ථානයෙන් අදට ලංකාවතාර සුත්‍රය නවත්වනවා. හැකි ඉක්මනින් ලංකාවතාර සුත්‍රයම කොටස් වශයෙන් පළ කරන්නම්.
මෙතනදී සදහන් කල යුක්තක් නම්, මෙම සුත්‍රය රාවණ රජුට දේශනා කලේ ගෞතම බුදුන් වහන්සේද, එසේත් නැත්තම් වෙනත් බුදු වරයෙක්ද යන්න පැහැදිලි නැහැ. දැනට තියෙන වංශකථා වලට අනුව නම් විජයගේ ලංකා ගමනය සිදුවන්නේ සම්බුද්ධ පරිනිර්වාණය වෙන දවසේ විමයි. එසේ නම් රාවණ රජු ගෞතම බුදුරජානන් වහන්සේට සමකාලීනද?
සුනාමියෙන් පසු මුහුදෙන් මතු වූ දණ්ඩකාරන්‍යෙය් ජනස්ථාන් නගරය, එනම් රාම රාවණා යුද්ධය හැ බැදුන නගරයක් කාබන් කාල නිර්ණය අනුව වසර 10000ක් පැරැණි වීමත් සමගම රාවණ රජු මෙයට වසර 10000ත් 12000ත් අතර කාල පරාසයක ලක් රජය කල රජෙක් යැයි සිතාගත හැකි මුත්, ලංකාවතාර සුත්‍රය හා රාවණ රජු අතර තිබෙන්නා වූ මෙම සම්බන්ධතාවය සමගින් මෙම මථයේ ඇති වන්නේ ගැටුමක්.
කොහොම වුණත් ලංකාවේ පළමු බෞද්ධ රජතුමා විදියට රාවණා රජතුමා යැයි යන්න තහවුරු කරන ලංකාවතාර සුත්‍රය ඉදිරියටත් විමසා රාවණ රජු හා බුදු රදුන් අතර ඇති වූ සංවාදය හා ඉන් මතු වන අපේ සැබෑ ඉතිහාසය සොයා යමු. තවත් ලිපියකින් හමු වනතෙක් ඔබට ආයුබෝවන්

උපු‍ටා ගැනීම Raawana.blogspot ඇසුරිනි

No comments:

Post a Comment