Thursday, September 12, 2013

බුදුන් උපන් ජන්බුද්දිපය අප ලංකාවද?

                                                       අප්‍රේල් 01 වන ඉරුදින සිළුමිණ පත්‍රයේ හේමසිරි කුමාරතුංග විසින් ඉදිරිපත් කරන ලද බුදුන් උපන්නේ ලංකාවේද? යන ලිපිය කියවීමෙන් ඔහුත් අපත් උපන් වාසනාවන්ත ‘හෙළ දිව‘ නම් බුදුන් උපන් රටේ උපන් අවාසනාවන්ත මිනිසුන් දෝ යන්න සිතට දැනුණු පහන් සංවේගයෙන් ම පිළිතුරක් ලියන්නට තීරණය කළෙමි.ගෞතම බුදු රදුන් ගේ ඉපදීම, බුදුවීම, පිරිනිවීම ඇතුළු වසර 46 ක් පුරා උන්වහන්සේ දහම් බෙරය හැඩ වූයේ හෙළ දිව නම් මේ පින් බිමේ ම බව මින් පෙර ද අරිසෙන් අහුබුදු ශූරීන් හා සෙනරත් පරණවිතානයන් විසින් ප්‍රකාශ කරන ලදුව ඒ සෑම අවස්ථාවක ම ඊට විරුද්ධවීම ගිහි පැවිදි සිංහලයන්ගේ ම සිරිත වීම නිසාවෙන් ඒ හැම අවස්ථාවකදීම සුවහසක් වූ බෞද්ධයන්ට ඒ ගැන සත්‍ය තොරතුරු දැන ගැනීම මග හැරී යාම ජාතියේ මහා පාප කර්මයක් විය. පළමු කොටම හේමසිරි මහතා හට ස්තුතිවන්ත විය යුත්තේ පූජ්‍ය මීවන පලානේ සිරි ධර්මාලංකාර හිමි විසින් නිර්මිත ‘ජන්බුද්වීපය’ ග්‍රන්ථය සම්බන්ධවත් එහි ඇති වටිනා අර්ථ දැක්වීම් කිහිපයක් හා රූප සටහන් පළ කිරීමෙන් ඒ මා හැඟි පුස්තකයට වටිනාකමක් සමඟින් ප්‍රසිද්ධියක් ලබාදීම සම්බන්ධවයි.අප උපන් රට හෙළදිව බව එතුමන් පිළිගෙන ඇත. අප දන්නා තරමින් ලොව හැම රටකටම තම රටේ නම එම රටේ ප්‍රධාන ජනවර්ගයාගේ නමින් වූ බව සනාථ වේ. උදා. ලෙස මැලේ ජාතිකයන්ගේ රට ‘මැලේසියාව ද’ ජපන් ජාතිකයන්ගේ රට ‘ජපානය’ ද ඉංග්‍රීසි ජාතිකයන්ගේ රට ‘ඉන්ග්ලන්ඩ් ද’ දෙමළ හෙවත් ටැමිල් ජාතිකයන්ගේ රට ‘ටැමිල්නාඩු’ හෙවත් දෙමළ රට ලෙස ද අර්ථ දැක්විය හැකි ය. ඉතින් අපගේ ජාතිය ‘හෙළ’ හෙවත් හෙළජාතිය වූ අතර රට ‘හෙළදිව‘ විය.බුදුන්ගේ පරි නිර්වාණය වූ වෙසක් මස මෙරටට ගොඩබට විජය නම් වූ ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද කල්ලතෝනි සෙල්ලක්කාරයකු වූ සිං ජාතික විජයගෙන් අප හෙළයන් පැවැත්නේනේ යැයි විදේශිකයන් විසින් අපට අටවා දුන් ඉතිහාසයක් කරපින්නාගෙන සිටිමින් එදා ‘කුවේණිය’ දුටුවන් රෑ මවිත කරවන සළුපිළියෙන් අගතැන්පත්ව කපු කටිමින් ශ්‍රේෂ්ඨ කර්මාන්තයක නියැළී සිටි කාන්තාවක් බවත් (යක්ෂ ගෝත්‍රික) එවන් වූ ශ්‍රේෂ්ඨ තාක්ෂණයකට උරුමකම් කී ජාතියකගේ ආරම්භය අදින් වසර දහස් ගණනකට පෙර සිදුවූ බවත් සිතනට මොලේ කළඳක් හෝ නොමැති වීම අප ජාතියේ තවත් අභාග්‍ය සම්පන්න තත්ත්වයකි.අපගේ හෙළ ජාතියට විජයගේ සිං එකතු වී සිං + හෙළ සිංහල වූ බව දැන් අපට පැහැදිලි ය. අප අතිපූජ්‍ය පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් විසින් මාගම වරායත් විල්පත්තු කැලේ පිහිටි කුවේණී මාලිගයත් දැන් සොයාගෙන ඇත. අප අතීත උත්කෘෂ්ට එම නටබුන් දකින ඕනෑම කෙනකුට විජයගේ පැමිණීමට වසර සිය ගණනාවකට පෙර අති පුදුම සහගත හෙළදිව කර්මාන්තයන් හා සමාජ පැවැත්ම හා එහි තිබුණු ශ්‍රී විභූතිය ඉතිහාසඥයකුටවත් සිතා ගැනීමට පවා නොහැකිය.නාග, දේව, යක්ෂ, කුම්භාණ්ඩ නම් සිව් හෙළයකින් සමන්විත වූ හෙළ දිව නාග වංශික මුචලින්ද රජු විසින් අව් වැසි වලින් බේරීමට තනවා දුන් කුටියට විශාල නාගයකු බුදුරදුන් රැක්කයි කියමින් අදටත් අප ඉතිහාසය තුළ වල්මත් වී ඇත. නාග ගෝත්‍රිකයන් කැලණියේ ද විසූ අතර නාග රජවරුන්ගේ හබය බේරීමට බුදුරදුන් කැලණියට වැඩම කළ බව සඳහන් ය. මෙවන් වූ ගෝත්‍ර ඉන්දියාව තුළ නම් කිසිදා අසන්නට හෝ දක්නට නොලැබුණි. මිථ්‍යා මත පසුපස යමින් හෙළුවැලි සහිත නිගණ්ඨයන් නම් ඕනෑ තරම් ඉන්දියාව තුළ සිටි බව කවුරුත් දන්නා කරුණකි.තවද ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වූ H.C.B බෙල් යන සුදු නිලධාරීන්ට ලංකාවේ ඉතිහාසය සෙවීමට භාර කර තිබූ නමුත් ඒ කෙසේ වෙතත් මිල කළ නොහැකි පුරාවස්තු පිටරටට පැටවීම සම්බන්ධයෙන් නම් ඔහු චෝදනා ලැබ සිටියහ. තව ද ඔහු විසින් අදටත් හෙළ ජාතියේ විශ්වකර්ම නිමැවුමක් වූ සීගිරියේ මුල් යුගයේ කැණීම්වලින් හමුවූ ගලමුදුනේ සිට පහළට බැසීමට තිබූ අබිරහස් පඩිපෙළ සහිත උමං මාර්ගය තුළ තිබූ වටිනා පුරාවස්තු සොයා ගැනීමෙන් පසු ගල මුදුනේ වූ මාර්ග ද්වාරය කොන්ක්‍රීට් දමා වසා දැමීමට නියෝග දුන් බව දන්නේ කීයෙන් කීදෙනා ද?H.C.B බෙල් කොන්රින්ග්ටන් වැනි සුදු නිලධාරීන් අපගේ ම ඉතිහාස ග්‍රන්ථ කියවා ‘ගෝතමෝ ශමන’ (ගෞතම ශ්‍රමණයන්) වැනි වචන වැරදියට අර්ථ කථනය කරමින් ඔවුනට සිතුණ දේ ලියා දුන් ඉතිහාසයට වඩා වටිනා ප්‍රෞඪ ඉතිහාසයකට අප උරුම කම් කියන බව දැන් හෙළිදරව් වී ඇත.ඉතින් මෙවන් වූ සාක්ෂි මත අප මනඞකල්පිත අර්ධ ඉතිහාසයක වල්මත් වී ඇති බව සාමාන්‍ය බුද්ධිය සහිත ඕනෑම කෙනෙක්ට පෙනී යන අතර ඉතිහාසය නැවත ලිවීම නොව වැළලී ගිය නිවැරදි ඉතිහාසය ජීවමාන සාක්ෂ සමඟින් අර්ථ දැක්වීමට හෙළයන් වන අපට ඉමහත් වූ ආඩම්බරයක් හා වගකීමක් ද වනු ඇත. ඉතින් මෙවන් වූ රටට වැදගත් වූ ඉතිහාසයක් හෙළිදරව් කිරීම්වලදී ජාතියක් ලෙස පුරුද්දට විරුද්ධ වීම නොව එම කරුණු කාරණා ගැන සොයා බලා තම දරුවන්ට තම රට පිළිබඳ අවබෝධය ලබාදීම තම පුහුඥානය අත්තනෝ මතික වචන හරඹ වලින් ලොවට හඬගානවාට වඩා උතුම් වනු ඇත.පූජ්‍ය මීවන පළානේ සිරි ධර්මාලංකාර හිමි විසින් රචිත ‘ජන්බුද්වීපය’ ග්‍රන්ථය කියවූ ඕනෑම කෙනකුට අප ශ්‍රේෂ්ඨ ඉතිහාසය අපෙන් තුරන් වී යාමට හේතු වූ කරුණු හා අසෝක රජු විසින් ඉන්දියාවේ කරවූ හෙළදිව ධර්ම රාජ්‍යයේ ආකෘතිය මොනවාට පැහැදිලි කර ඇති අතර වරක් කියවූ පමණින් ඕනෑම සාමාන්‍ය දැනුම ඇත්තකුට සත්‍ය අවබෝධ වනු ඇත. ඒ නිසා ඒ ගැන වැඩිමනක් තොරතුරු සඳහන් කිරීමට අනවශ්‍ය වනු ඇත. උන්වහන්සේ විසින් මෙතෙක් කිසිම විද්වතකු හෙළි නොකළ අයුරින් තාර්කිකවත් සත්‍ය වූත් ජීවමාන සාධක හා ප්‍රදේශ නාම ඇතුළත්වත් රචිත ග්‍රන්ථය කිසිසේත් සුළු කොට තැකිය නොහැකි අතර මෙතෙක් ලක්දිව විරචිත ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දිය හැකි ය.ඉන්දියානු උපමහද්වීපික රට තුළ ‘රචනා කළ කිසිදු ඉතිහාස ග්‍රන්ථයක බුදු කෙනකු පිළිබඳ සටහන් නොවන අතර ඉන්දියානු ඉතිහාසයේ ද සිටි එකම ඉතිහාසඥයා බෂාම් තුමා විසින් රචිත එකම ප්‍රධාන ඉතිහාස කතාවේ ද බුදු රදුන් කෙනකු ගැන කිසිදු සඳහනක් නැත. තවද අසෝක අධිරාජ්‍යයාට පෙර හෝ පසු කිසිවකු බෞද්ධ දර්ශනයක් සහිතව කටයුතු නොකළ අතර ශ්‍රී ලංකාවෙන් ගෙනා ශ්‍රී මහා බෝධි අංකුරය පිළිගන්නා ආකාරය ද සාංචි තොරණේ නිර්මිත ය. මේ ආශ්‍රිත සියලුම ඉන්දියානු නිර්මාණ ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පය අනුව ගඩොලින් නිමවා ඇති අතර ගෞතම බුදුන් කල ගඩොල් සොයා ගෙන නොතිබුණි.අපගේ හෙළ නිර්මාණ සියල්ලම තනි කළු ගලින් වූ විශ්වකර්ම නිර්මාණ විය. ඉන්දියාවේ ඒ ඒ සිද්ධස්ථාන අතර දුර ප්‍රමාණය සැලකූ® විට ඒවා ප්‍රායෝගික නොවන අතර අසෝක රජ මුළු ඉන්දියාව පුරාම ඒවා නිර්මාණය කළා මිස ඒවායේ සැබෑ දුරවත් නොසලකා හැර ඇත. උදා. ලෙස බරණැස සිට ලුම්බිනියට දුර කි.මී. 360 වූ අතර එම දුර දරුවකු ලැබීමට සිටි මහාමායා දේවියහට පයින් ගමන් කිරීම ප්‍රායෝගිකව නොහැකි ය. තව ද දරුවකු ලැබීමට සිටින මවක තම දෙමාපියන් කරා යාම අදටත් මේ හෙළදිව සිදුවන චාරිත්‍රයක් වන අතර ගැබ් පෙළහර පෑම යනුවෙන් එම හෙළ චාරිත්‍රය අර්ථකථනය කළ හැකි ය. මෙවන් වූ සිරිත් ඉන්දීය ජන සමාජය තුළ එදා නොතිබූ බව ඔවුන්ගේ ඉතිහාස ග්‍රන්ථවලින් පැහැදිලි වන අතර අදද එවැන්නක් නොමැත.තවද කිසිදු බුද්ධ ශක්තියක් එම ස්ථානවල නොමැතිකමින් ඍධීන් වහන්සේලා හෝ රහතන් වහන්සේලා පහළ වීමක් ඉන්දියාවේ සිදු නොවුණි. ඒ හැම දෙයක් ම සිදු වූයේ අපගේ හෙළදිව මිස අන් තැනක නොවේ. විශාලා මහනුවර හෙවත් අද යාල සිතුල් පව්ව, රජගහ නුවර හෙවත් අම්පාර - රජගල හබරණ රිටිගල පිහිටි විශ්වකර්ම ජේතවනාරාමය, ලුම්බිනිය හෙවත් සිදුහත් කුමරු උපන් බඹරගල රජමහා විහාරය, - තෙල්දෙණිය, පළමු ධර්ම සංඝායනාව පැවැත්වූ ඉසිපතනාරාමය - අද ඉසින් බැස්ස ගල - මැදවච්චිය යන සෑම තැනකම ඔබ සංචාරය කළහොත් ඒ බව ඔබට සියසින් දැකගත හැකි වනු පමණක් නොව එම ස්ථානවල ඇති ආත්මීය ගුණ සුවඳ විඳ ගැනීමට ද හැකිවනු ඇත.රචකයා විසින් ඉදිරිපත් කළ තර්ක සියල්ලට පිළිතුරු දීමට යාම කාල හා වචන නාස්තියක් බැවින් ධර්මාලංකාර හිමියන් විසින් ජන්බුද් දීපය අර්ථ දක්වා ඇති නිවැරදි පිළිවෙල අපකීර්තිමත් කිරීමට ලේඛකයා බොළඳ උත්සාහයක යෙදී ඇත. අසෝක රජු දිගින් දිගටම යුද්ධ කිරීම නිසාවෙන් බයෙන් හෙළදිවට පැන ආ මිහිඳු හා සංඝමිත්තා හා පිරිස අම්පාර වේළුවනාරාමයෙන් ශ්‍රී සද්ධර්මය උගෙන රහත් භාවයට පත් වී පසු කලෙක ලංකාපුරය හෙවත් එදා නොදියුණු අද අනුරාධපුරයට බුදු දහම රැගෙන ආ බව දැන් හෙළි වී ඇත.පූජ්‍ය එල්ලාවල හිමියන් විසින් අම්පාර රජගල දී මිහිඳු හිමියන් හා ඉට්ඨිය තෙරුන්ගේ සොහොන සොයා ගැනීමත් සමඟ ම සියලු දේ සනාථ වන අතර මිහිඳු හිමි ඉන්දියාවේ සිට පැමිණියා නම් ආපසු යා යුත්තේ ද ඉන්දියාවට මිස අම්පාර රජගලට නොවේ. තවද එල්ලාවල හිමියන්ගේ ශ්‍රේෂ්ඨ ලිපියකින් මිහිඳු හිමි එන්නට පෙර හෙළයන් බුදුරජුන් ගැන දැන සිටි බවත් සියලු බ්‍රාහ්මීය අක්ෂර සහිත කලා ශිල්ප ආදිය අපට තිබූ බවත් බුදු හිමිගේ පූජනීය ධාතුන් වහන්සේලා වැඳුම් පිඳුම් කරගෙන හෙළ ජන කොටස් ජීවත් වූ බව ප්‍රකාශ කර ඇත. නො එසේ නම් එක් වරම ආ දෙයක් නොපිළිගැනීමට තිස්ස රජුට හැකියාව තිබුණි.අප ගෞතම බුදුරජුන්ගේ ශ්‍රී පංචස්කන්ධයට අයිති අති පූජනීය වූ ධාතූන් වහන්සේලා අදට ද ඇත්තේ අප රට තුළ මිස ඉන්දියාවේ නොවේ. උදා. වම් හා දකුණු දන්ත ධාතු - මහනුවර දළදා මාලිගාව හා සෝමාවතිය, කේස ධාතු - ගිරිහඬු සෑය ත්‍රිකුණාමලය නිය පොතු හා කේස ධාතු - දීඝවාපිය, ලලාට ධාතුව - සේරුවාවිල ග්‍රිවා ධාතු සහ සර්වඥ ධාතූන් වහන්සේලා යන සියලු දේ මේ හෙළ බිමේ ම අදටත් රැකී ආරක්ෂා වී පවතී. හබරණ ගිරිවඩුන්නේ ජයසිරි මහ බෝසමිඳුන්ගේ අෂ්ඨ ඵල බෝ අංකුර හා දෙතිස් ඵල බෝ අංකුර මේ සෑම වැදගත් වූ සැබෑ අටමස්ථානවල බුදුන් ජීවමාන අවදියේ ම පිහිට වූ අතර බුදු රජුන් ගේ පා පහස ලද සිරිපතුල් ගල් ද විය.අම්පාර දීඝවාපියෙන් සොයා ගන්නා ලද සැරියුත් මුගලන් ධාතූන් වහන්සේලා ද ඔවුන් අපගේ අතීත මුතුන් මිත්තන් බව මොනවට සහතික කරයි. බුදුන් ඉන්දියාවේ උපන් බවට හොඳ සාක්ෂිය යයි පවසන හේමසිරි මහතා පෙන්වා දෙන්නේ බුදුහිමිට පෙරළු ගල හා ආධාරක ගලයි. ඉන්දියාවේ එම ස්ථානය හා වෙළඳ ගැල් එරුණ ස්ථානය ද සලකන විට උව ද ඒවා පසුව නිර්මාණය කරන ලද ඒවා මිස ස්වාභාවික ඒවා නොවූ බව පෙනී යයි.ඒ අනුව හෙළදිව සත්‍ය සිදුවීම් ඇසුරු කරමින් ඒවායේ අනුරුව පමණක් ඉන්දියාවේ ඉදිවිය. අශෝක ස්ථම්භවල බුදු රජුන් ගැන මිස ඔහු සිදුහත් කුමරකු ගැන දැන නොසිටි බව ඒවා කියවීමෙන් පෙනී යයි. ඉන්දියාවේ ලුම්බිණිය යැයි කියනා ස්ථානයේ පිහිටි අශෝක් ස්ථම්භයේ මේ ස්ථානය බුදුරජුන් ඉපදුන තැන සිහිවීම පිණිස යන්න මිස සිදුහත් කුමරා ඉපදුණ තැන යන්න සඳහන් නොවන්නේ ඒ නිසා ය.ඉතා වැදගත්ම දෙය සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා ලෝකයක් සසර ගමනින් එතෙර කර වීමට පස්මහ බැලුම් (කාලය, දීපය, දේශය, කුලය, මව) බලා ඉපදුණු බෝසතාණෝ තමාගේ ධර්මය නොපිහිටන/ නොඅදහන/ නොපවතින/ (ඉන්දියාවේ කිසිදු බෞද්ධයකු නැති අතර සියලු දේ ශ්‍රී ලංකාවේ හිමිවරුන් හා ව්‍යාපාරිකයන් විසින් වාණිජ අරමුණු සඳහා ම පමණක් අද පවත්වාගෙන යයි) දේශයක උපදීද යන්න තර්කානු සිතින් සිතා බැලීම වටී. ඉතින් බුදුරජුන් තුන් වරක් ලක්දිවට වැඩම කලා යයි කියනුයේ අපගේම නැගෙනහිර පළාත හෙවත් ජන්බුද්වීපයේ සිට කැලණියට/ මහියංගනයට හා නාගදීපයටයි. එදවස ගමනා ගමනය දුෂ්කර හෙයින් මෙය රටකින් රටකට යාමක් වැනි දුෂ්කර කාර්යයක් විය.භෞතික සම්පත්වලට වඩා මනස හා යා වුණු ශක්ති පරිභෝජනයේ අගතැන්පත් අපගේ රාවණා රජු සක්විති රජ කෙනකු විය. වසර දහස් ගණනකට කලින් ශක්ති බලයෙන් මහා විකුම් පෑ ලොව පළමු ගුවන් යානය හිමි බලපරාක්‍රම රජු ඔහු විය. වාත අස්ත්‍ර වැනි න්‍යෂ්ඨික ආයුධ නිර්මාණය කර ඒවා වේරම්භ වාතයේ සඟවා තැබීය. (වේරම්භ වාතය හෙවත් බ්ඥබ ඉබපඥචථ නවීන විද්‍යාවෙන් සොයා ගත්තේ 1940 ස් ගණන්වල ය.) අපගේ අංගම් සටන් කලාව ඉතා පැරණි වූත් ලොව කිසිම සටන් ක්‍රමයකට නොදෙවෙනි වෙති. අපගේ ම සිංහලයන් විසින් ඉංග්‍රීසීන්ට පාවා දී යළිදු පණ ලබමින් පවතින මෙවන් ශ්‍රේෂ්ඨ උරුම අන් කිසිදු රටක නොමැති ය. අපගේ ශ්‍රේෂ්ඨ හෙළ වෙදකම විශ්මය ජනකය. සීගිරිය වැනි අග්‍රගණ්‍ය නිමවුම් ලොව මවිත කරවන සුලු ය. ලොව ගංගා නිම්න අසබඩ ජනාවාස බිහිවෙද්දී සාගරයට ඇදී යන ජලකඳ නවතා වැව් නිර්මාණය කරමින් ස්වයංපෝෂිත වූ ලොව එකම ජාතිය හෙළ ජාතියයි. ඍදි ප්‍රාතිහාර්ය පාමින් ශක්ති පරිභෝජනයේ කෙළ පැමිණියවුන් අප සතු වූහ.මේ සෑම දායාදයක් ම අප සතුවීමට ප්‍රධාන හේතුවක් ඇත. එනම් මේ සෑම දෙයක් සඳහා ම බද්ධ වී ඇති බුද්ධ ශක්තියයි. ලෝකයේ උතුම් රට, ධර්ම දිවයින, ඉන්දියන් සාගරයේ මුතු ඇටය මේ තරම් උත්තරීතර නාමයන් අප කුඩා රටට ලැබීමට එකම හේතුව මේ රට බුදුන් උපන් දේශය වීමයි. ඉතින් මේ අගනා ඉතිහාසය හෙළදිව මහා විහාරය ගිනිබත් කිරීමත් සමඟ වූ ලිඛිත සාක්ෂි විනාශවී යාමෙන් අපට අහිමි විය. ඉන්පසු දුටුගැමුණු රජ සමයෙහි ලියූ මහා වංශය පාලියට හරවා යළිත් හෙළ බසට හරවා ඉන්දියානු ජාතික බුද්ධඝෝෂ හිමියන් ලියූ දෙවන මහා වංශය අපගේ සත්‍ය ඉතිහාසය අපගෙන් වසන් කිරීමට උත්සුක විය. ඉතින් අපගේ උතුම් ස්ථාන කාලයේ වැලිතලාවෙන් කැලයෙන් යට වී යද්දී අසෝක රජ ඉදිකරවූ හෙළ ධර්ම රාජ්‍යයේ ආකෘතිය පමණක් ලෝකයාට දර්ශනය වී ජන්බුද්වීපය යන නම ඉන්දියාවට භාවිතා කරමින් වැරදි පිළිගැනීමක් ඇති විය.මේ අති මහත්වූ විපර්යාසය ධර්මතාවයෙන් ම සිදුවූ බවත් ඒ සෑම දෙයක් ම වසර 5000 ක් පවතින මේ හෙළදිව ශ්‍රේෂ්ඨ ස්ථානයන්හි අනාගත චිරස්ථතිය පිණිස ම සිදු වූ බවත් දැන් දැන් පහළ වී ඇති හෙළදිව මගඵල ලාභීන් විසින් පහදා දී ඇත. එසේ නොවුණේ නම් අතිවටිනා පූජනීය ස්ථානයක් වරින් වර පැමිණි විදේශ ආක්‍රමණවලින් විනාශ වන්නට ඉඩ තිබුණි. අද හෙළ දිව මෙවන් වූ මහා පූජනීය භූමි තම අනසකට යටත් කර ගනිමින් නැති ඉතිහාසයක් මවා පෑමට වෙර දරනා අසිංහල අබෞද්ධයින් විසින් කූට ලෙස උපක්‍රමශීලි ව හෙළ පුරාවස්තු විනාශ කරමින් ගෙන යන වැඩපිළිවෙළවල්වලට වැට බැඳ නියම හෙළයන් මෙම පින්බිමෙන් වඳ වී යාම වැළැක්විය යුතු ය. අප එකාවන්ව නැඟී සිටිය යුත්තේ විරුද්ධ විය යුත්තේ සටන් කළ යුත්තේ එවන් වූ අකටයුතුකම් වැළැක්වීමට ය.අන්න එවන් වූ දිනට තවත් චිරාත් කාලයක් මේ පුණ්‍ය භූ®මිය රැකී ආරක්ෂා වී අපගේ මතු පරපුරට ද ලොවින් උතුම් රට දායාද කළ හැකි වනු ඇත. එබැවින් එදා බුදුන් කල මෙන් එදා සිටි ලෙසම පිළිගන්නා නොගන්නා දෙපක්ෂයම ඉපදී මැරෙමින් අද දක්වාම පැවතෙන්නේ ය. එබැවින් ඇසූ පමණින් තමන්ගේ ලේ ධාතුව ඔස්සේ යමින් මෙම සිද්ධස්ථාන කරා ඇදී යන දස දහස් පින්බර මිනිසුන්සේ ම, නියමිත කාලයට හෙළි වූ සත්‍යයට නිගරු කරමින් තම ජාතිය හා රටටම නියවන අජාසත්තවරු ද අද කාලයේ සුලබ ය.එබැවින් ඒ සියලු දෙනා හට මෙත් වඩමින් සියලු බුදුවරු බුදු වූයේත් බුදුවන්නේත් එකම දේශයක එකම ස්ථානයක යන න්‍යාය සනාථ කරමින් ගෞතම බුදුන්ට පෙර පහළ වූ සරණංකර බුදුන්ගේත් ධාතුන් වහන්සේලා ගෞතම බුදු හිමිගේ ධාතූන් වහන්සේලා සමඟින් අනුරපුර ථූපාරාමයේ අදටත් නිදන් ගත වී පවතින බව ප්‍රසිද්ධ කරුණකි. සුප්‍රසිද්ධ අතීතයේ සියලු බුදුවරු ද අප සම්‍යක් මහා ගෞතම බුදුරදුන් ද වසර 5000 ක් ඇවෑමෙන් අප මහා මෛත්‍රී බුදුරදුන් ද ඉපදුණ, ඉපදෙන මේ පින්බිමේ ඉපදීමට වාසනාවන්ත වූ යැයි සතුටුවන්නටත් කවුරුන් හෝ ලියා තැබූ දේ වලට වඩා ප්‍රායෝගික වූත් දෘෂ්ටිමය වූත් සත්‍ය පිළිගැනීමටත් තම දූපුතුන් ගේ සැබෑ ඉතිහාසඥයන් තමා වීමටත් හෙළයන් ලෙස කොඳුනාරටිය සවිමත් කර ගනිමු.උපුටා ගැනීම-සිඑමිණ පුන්කළස ඇසුරිනි

No comments:

Post a Comment