Sunday, September 8, 2013

අප රාවණා රජු සොයා යන්නේ ඇයි?

                                         ශ්‍රී ලංකාව නම් කොදෙව්වක ජීවත් වන අපට මෑතකාලීන ඉතිහාසයේ ආඩම්බර විය හැකි අවස්‌ථා උදා වූයේ ඉතා ම කලාතුරකිනි. එක්‌ කලෙක අප අභිමානය තෘප්ත කර ගැනීමෙහි ලා කෙතරම් දිළිsඳු තත්ත්වයක පසු වී ද යත් සේපාල ඒකනායක නම් ශ්‍රී ලාංකිකයකු අලිතාලියා ගුවන් යානයක්‌ පැහැර ගත් විට ශ්‍රී ලාංකිකයන් අභිමානයට පත් වූ ආකාරය සිහිපත් කළ යුතු ය. ශ්‍රී ලංකා කොදෙව් වැසියන්ට අභිමානය තෘප්ත කර ගැනීම පිණිස එකල උදා වූයේ එවන් අහඹු සිදුවීම් පමණි. එකී ශෝචනීය කාල පරිච්ඡේදයට හැරවුම් ලක්‌ෂ්‍යයක්‌ වූයේ 1996 දී අපේ ක්‍රිකට්‌ කණ්‌ඩායම ලෝක කුසලානය දිනා ගැනීමයි. අපේ රණවිරුවන් ප්‍රභාකරන් නන්දිකඩාල්හි ගිල්වීමත් සමග ම මෑත කාල පරිච්ඡේදය අපේ අභිමානය සොයා යන වකවානුවක්‌ බවට පරිවර්තනය විය. දැන් ජාතියට අභිමානයක්‌ ලබාගත හැකි තත්ත්වයකින් සිතීමට අපට හැකි ය. 

අප ජාතියට අභිමානයක්‌ සෙවූයේ මෑතක පටන් නො වේ. සුද්දා ගෙන් නිදහස ඉල්ලීම ආරම්භ වීමත් සමග ම ජාතියේ අභිමානය සෙවීමේ වර්තමාන කථාව ද ආරම්භ විය. පෙර කී පරිද්දෙන් ම අභිමානය පිළිබඳ කාරණාවන් අරභයා තත්කාලීන සමාජය ශෝකාන්විත තලයක වූ හෙයින් අපේ පිහිටට පැමිණියේ ඉතිහාසයයි. ජාතියේ අභිමානය සොයා යන්නන් ගේ පහසු විකල්පය බවට පත් වූයේ අපේ අභිමානවත් අතීතයයි. සැබැවින් ම අපට අභිමානවත් ඉතිහාසයක්‌ පැවැති හෙයින් එහි කිසිදු ගැටලුවක්‌ නො වී ය. එහෙත් අභිමානවත් ඉතිහාසය සොයා යැමේ ක්‍රමවේදය අරභයා බරපතල ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වූ බව සාධාරණව පිළිගත යුතු ය. මෙකී පරස්‌පරය ඇති වීමේ හේතුව ද පැහැදිලි ය. ජාතියට අභිමානය සොයා ඉතිහාසය දෙසට යොමු වූ පිරිසක්‌ ඒ පිළිබඳ විද්‍යාත්මක ක්‍රමවේදය අතහැර දැමූ හ. මීට ප්‍රතිලෝමව විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ අනුගමනය කරමින් ඉතිහාසය දෙසට යොමු වූ පිරිස ජාතියට අභිමානයක්‌ සොයා දීමේ අරමුණින් බැහැර වූ හ. 

ජාතියට අභිමානයක්‌ ලබා දිය හැකි ඇතැම් ඉතිහාස තොරතුරු අතර පුරාකථාවන් හා ජනප්‍රවාද ද වෙයි. වසර ගණනක්‌ පැවැති ඕනෑ ම ශිෂ්ටාචාරයක එවැනි පුරාකථාවන් හා ප්‍රවාද දැකිය හැකි ය. එකී ප්‍රවාදවල ඉතා ඈත කාලීන වීරයකු, පාලකයකු පිළිබඳ හෝ ඉතා ම සමෘද්ධිමත් යුගයක්‌ පිළිබඳව සඳහන් වීම එවන් ඕනෑ ම ශිෂ්ටාචාරයකට පොදු ය. එකී ප්‍රවාද ඔස්‌සේ ඒවායේ මූලය සොයා යැම වර්තමාන පුරාවිද්‍යාවට පටහැනි ක්‍රියාවක්‌ නො වේ. 

බයිබලයේ පැරැණි තෙස්‌තමේන්තුව පුරාවිද්‍යානුකූලව හැදෑරීමේ උත්සාහයන් පවතී. බ්‍රිතාන්‍යයේ ආතර් රජු පිළිබඳ පුරාකථා ඇතැම් පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා පාදක වෙයි. ට්‍රොaයි පුරවරය සොයා පුරාවිද්‍යාත්මක හැදෑරීමක්‌ කරනු ලැබුවේ ඉලියඩ් හා ඔඩිසි වීර කාව්‍ය පදනම් කරගනිමිනි. එබැවින් ශ්‍රී ලාංකිකයන් රාවණ පිළිබඳ පුරාකථාවන් පුරාවිද්‍යාත්මකව සොයා බැලීම හාස්‍යයට තුඩු දිය යුතු කරුණක්‌ නො වේ. එමෙන් ම ඉතිහාසය සොයා යැම වර්තමාන පුරාවිද්‍යාත්මක රාමුව තුළ සිදු විය යුතු යෑයි නියමයක්‌ ද නැත. 

ශ්‍රී ලාංකිකයන් ගේ අභිමානය පිළිබඳ කාරණාවේ දී රාවණා පිළිබඳව පුරාකථාව අතිශය වැදගත් ය. අප ගේ මුතුන් මිත්තකු රයිට්‌ සහෝදරයන්ට ප්‍රථම ගුවනින් ගිය බව පිළිගැනීම අපේ අභිමානයට වැදගත් ය. හෙතෙම ඉන්දියාව පාලනය කළ බව සිහිපත් කිරීම ම අප සිටිනා තැනින් ඉහළ මට්‌ටමකින් සිතීමට පොලඹවයි. එහෙයින් රාවණා පිළිබඳව තොරතුරු හැදෑරීම කිසි ලෙසකිනිදු හාස්‍යයක්‌ නො වේ. 

එහෙත් රාවණා පිළිබඳව සොයා යන්නන් ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන් නම් හාස්‍යයට වැඩි හැඟීමක්‌ ජනිත නො කරයි. මෑත කාලීන ජනමාධ්‍යවල රාවණා සොයා යන්නන් ගේ ලිපි මගින් ප්‍රකාශිත තොරතුරු කිහිපයක්‌ කෙරෙහි අවධානය යොමු කිරීම ඒ හාස්‍ය රසය සඳහා ප්‍රමාණවත් ය. 

No comments:

Post a Comment